Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඉන්දුනීසියාවට

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඉන්දුනීසියාවට

ශානුක අරවින්ද - 2019 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ යොජ්යකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු මේසපන්දු ශූරතාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (14 වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. ආසියානු මේසපන්දු සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය අනිද්දා (15 වැනිදා) සිට 22 වැනිදා දක්වා පැවැත්වේ.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), සුපුන වරුසවිතාන (මොරටුව විශ්ව විද්‍යාලය) සහ සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) යන ක්‍රීඩකයන් ඇතුළත්ව සිටින අතර ස්ටැග් මේසපන්දු විද්‍යායතනයේ රොහාන් සිරිසේන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

වරාය අධිකාරියේ ඉෂාරා මධුරංගි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය දරන අතර එරන්දි වරුසවිතාන (යුද හමුදාව), බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) සහ ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) යන ක්‍රීඩිකාවෝ එම කණ්ඩායමේ සෙසු සාමාජිකාවෝ වෙති. කණ්ඩායමේ කළමනාකරු සහ පුහුණකරු ලෙස චන්දන පෙරේරා මහතාද තරගාවලියට සහභාගි වෙයි.

ආසියානු තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා පසුගියදා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී තේරීම් තරගාවලියක්ද පැවැත්විණ. එහිදී ක්‍රිඩක ක්‍රීඩිකාවන් ලබාගත් ලකුණු වලින් 80% ක ප්‍රතිශතයක්ද, මේ වන විට ඔවුන් ලබා සිටින ශ්‍රේණිගත ලකුණු වලින් 20% ක ප්‍රතිශතයක්ද ගෙන මෙම කණ්ඩායම තෝරාගෙන තිබේ.

පිරිමි තේරීම් තරගාවලිය අවසානයේ චමීර ගිණිගේ එහි පළමු ස්ථානයටද, සුපුන වරුසවිතාන දෙවැනි ස්ථානයටද, ක්‍රිෂාන් වික්‍රමරත්න තෙවැනි ස්ථානයටද, කණ්ඩායමේ නායකත්වයට පත්ව සිටින රොහාන් සිරිසේන සිවුවැනි ස්ථානයටද පත්ව ඇත. කෙසේ වුවත් එහි තෙවැනි ස්ථානයට පත්වූ ක්‍රිෂාන් වික්‍රමරත්න ආසියානු තරගාවලියට සහභාගි වීමෙන් වැලකී සිටීම නිසා එම අවස්ථාව තේරීම් තරගාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ ලාබාල ක්‍රීඩක සෙනුර සිල්වාට හිමිවී තිබේ.

තේරීම් තරගාවලියට සහභාගි වූ සෙසු ක්‍රීඩකයන් වූ දිනේෂ් කවිෂ්ක, ඉමන්ත උදන්ජය සහ මිලින්ද ලක්ෂිත පිළිවෙලින් එහි හයවැනි, හත්වැනි සහ අටවැනි ස්ථානවලට පත් වූහ.

කාන්තා තේරීම් තරගාවලිය අවසානයේ එරන්දි වරුසවිතාන එහි පළමු ස්ථානයටත්, කණ්ඩායමේ නායකත්වයට පත්ව සිටින ඉෂාරා මධුරංගි දෙවැනි ස්ථානයටත්, බිමන්දි බණ්ඩාර තෙවැනි ස්ථානයටත්,  ජිතාරා වර්ණකුලසූරිය සිවුවැනි ස්ථානයටත් පත්වූහ. තේරීම් තරගාවලියට සහභාගි වූ සෙසු ක්‍රීඩිකාවන් වූ මුතුමාලි ප්‍රියදර්ශනී, තනුෂි රොද්‍රිගූ සහ චමත්සරා ප්‍රනාන්දු පිළිවෙලින් එහි පස්වැනි, හයවැනි සහ හත්වැනි ස්ථානවලට පත් වූ අතර ඩී.එස්. කොළඹගේ තේරීම් තරගාවලියට සහභාගි වීමෙන් වැලකී සිටියාය.

ආසියානු තරගාවලියේදී පිරිමි කණ්ඩායම්, කාන්තා කණ්ඩායම්, පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්නා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව් යටතේ තරග පැවැත්වෙන අතර එහි පිරිමි තරග සඳහා රටවල් 33 ක්ද, කාන්තා තරග සඳහා රටවල් 25 ක්ද සහභාගි වෙති.

මෙම තරගාවලියේදී නවාතැන් පහසුකම් සහ ආහාර පාන සැපයීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත්තේ සෑම රටකම ක්‍රීඩකයන් තිදෙනෙක්, ක්‍රීඩිකාවන් තිදෙනෙක් සහ එක් නිලධාරීයෙක් සඳහා පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සිවුවැනි ක්‍රීඩකයාට සහ සිවුවැනි ක්‍රීඩිකාවට සිය නවාතැන් පහසුකම් සහ ආහාර පාන තමන් විසින්ම සපයා ගැනීමට සිදුව තිබේ.

මෙම තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය ගුවන් ප්‍රවේශපත් සඳහා අනුග්‍රහය ලබාදෙන ලෙස මේසපන්දු අතුරු කමිටුව ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණද, මේ දිනවල ආර්ථික අපහසුතා ඇතැයි පවසමින් ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගිවන්නේ ගුවන් ප්‍රවේශපත් වියදම්ද තමන් විසින්ම සපයා ගනිමිනි.

එළබෙන ලෝක ශූරතා මේසපන්දු තරගාවලියට සහභාගි වීම සඳහා මෙම තරගාවලියේදී ලබාගන්නා ප්‍රසාද ලකුණු වැදගත් වන බැවින්ද, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පෙර ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමට සහභාගි විය හැකි එකම ජාත්‍යන්තර තරගාවලිය මෙය බැවින්ද අවශ්‍ය ප්‍රතිපාද සොයා ගනිමින් කෙසේ හෝ ඒ සඳහා සහභාගි වීමට තීරණය කළ බව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පවසති.


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඉන්දුනීසියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.