Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව - මැකාව් ජූනි 6 දා තරග බිමේ

ශ්‍රී ලංකාව - මැකාව් ජූනි 6 දා තරග බිමේ

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2022 දී කටාරයේදී පැවැත්වීමට නියමිත මීළඟ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ මැකාව් රාජ්‍යය ජූනි මස 6 වැනිදා තරග කරති. 

 
මූලික වටයේදී ශ්‍රී ලංකාව සහ මැකාවෝ අතර තරග දෙකක් පැවැත්වේ. මෙම තරග දෙක ජූනි මස 6 වැනිදා සහ ජූනි මස 11 වැනිදා පැවැත්විය යුතුය. දෙරට අතර පළමු තරගය ජූනි මස 6 වැනිදා මැකාව් රාජ්‍යයේදීත් දෙවැනි තරගය ජූනි මස 11 වැනිදා කොළඹදීත් පැවැත්වේ. 
 
ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 202 වැනි ස්ථානයේ සිටින අතර මැකාව් රාජ්‍යය 183 වැනි ස්ථානයේ සිටී. කණ්ඩායම් 12 ක් තරග වදින ආසියානු කලාපීය මූලික වටයේදී එක කණ්ඩායමක් තමන්ගේ රටේදී මෙන්ම ප්‍රතිවාදීන්ගේ භූමියේදී තරග කළ යුතුව තිබේ. 
 
කිසියම් ආකාරයකින් තරග ප්‍රතිඵල සම වුවහොත් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායම ඊළඟ වටයට සුදුසුකම් ලබාගනී. එබැවින් තරගයක ප්‍රතිඵලය මෙන්ම ලබාගන්නා ගෝල සංඛ්‍යාවද මෙම තරගාවලියේදී ඉහළ වැදගත්කමක් ගනී. 
 
මූලික වටය සඳහා කණ්ඩායම් 12 ක් සුදුසුකම් ලබා සිටින අතර ඒවායින් හොඳම කණ්ඩායම් 6 දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත. 
 
කෙසේ වෙතත් 2022 ලෝක කුසලාන තරගාවලියේ අවසන් වටය සඳහා කණ්ඩායම් කීයක් සහභාගි කරවාගන්නේද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට තවමත් නැත. පාපන්දු ක්‍රීඩාවේ ලෝකෙට ලොක්කා වන, අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතාගේ අදහස වන්නේ අවසන් මහ තරගාවලිය කණ්ඩායම් 48 කට විවෘත කළ යුතු බවයි. 
 
2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය මේ වන විටත් කටාරයට බාරදී තිබෙන නමුත් කණ්ඩායම් සංඛ්‍යාව වැඩි වන්නේ නම් මැද පෙරදිග කලාපයේ අනෙකුත් රටවලටත් තරග පැවැත්වීමේ අවස්ථාව දීම අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ තවත් අදහසකි. ඕමානය සහ කුවේටය ඒ සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටී. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනෙන්නේ ජූනි මස 5 වැනිදා පැවැත්වෙන අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ කමිටු රැස්වීමේදීය. 
 
තත්ත්වය එසේ වුවත් ආසියාවේ පහළින්ම සිටින කණ්ඩායම් 12 සඳහා මූලික වටයේ තරග කාලසටහන සකස් කිරීමට ආසියානු පාපන්දු බලධාරීහු පියවර ගත්හ. මෙම වටයේ ජයග්‍රාහකයන් 6 දෙනා දෙවැනි වටයට සුදුසුකම් ලබාගන්නා අතර ඔවුන් ආසියාවේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් 34 කට එක්වෙයි. දෙවැනි වටයේ තරගාවලිය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. 
 
වසර 2022 දී කටාරයේ පැවැත්වීමට නියමිතව ඇත්තේ  පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේදී ආසියාවේදී පැවැත්වෙන දෙවැනි ලෝක කුසලාන තරගාවලියයි. මීට පෙර පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් ආසියාවේදී පැවැත්වුණේ 2002 දී ජපානයේ සහ දකුණු කොරියාවේ සත්කාරයෙනි. 
 
ජූනි 6 වැනිදා පැවැත්වීමට නියමිත තරග
මොන්ගෝලියාව සහ බෲනායි අතර 
ශ්‍රී ලංකාව සහ මැකාව් අතර
ලාඕසය සහ බංග්ලාදේශය අතර
මැලේසියාව සහ නැගෙණහිර ටිමෝරය අතර
කාම්බෝජය සහ පාකිස්තානය අතර
භූතානය සහ ගුවාම් රාජ්‍යය අතර
 
 

අදහස් (0)

ශ්‍රී ලංකාව - මැකාව් ජූනි 6 දා තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.