Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වැටුණු ළිං කටෙන්ම ගොඩ ඒමේ උත්සාහයක්

වැටුණු ළිං කටෙන්ම ගොඩ ඒමේ උත්සාහයක්

රොෂාන් ගුණරත්න - 2018 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරු සකස් කරමින් එංගලන්තයට බැට දීමට සූදානම් වූ නමුත් සියලු උපක්‍රම පාරාවළල්ලක් මෙන් ආපිට කැරකී ආවේය. තරග දෙකක් නිමාවේදීම ටෙස්ට් තරගාවලිය පරාජය විය. එහෙත් අසාර්ථක වූ පැරණි උපක්‍රමයම තුන්වැනි ටෙස්ට් තරගයේදීත් යොදාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබේ. 

එංගලන්තයට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී හෙට (23 වැනිදා) ආරම්භ වීමට නියමිත තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදීත් තමන් දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් ඉල්ලා සිටි බව නායක සුරංග ලක්මාල් පැවසීය. 

මෙම තත්ත්වය වැටුණු ලිං කටෙන්ම ගොඩ ඒමට උත්සාහ කිරීමක් සේ හැඳින්විය හැකි නමුත් එය කොයි තරම් සාර්ථක වේද යන්න පිළිබඳ විශ්වාසය තැබි නොහැක්කේ ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට දඟ පන්දු යවන්නන් දෙදෙනකුගේම සේවය අහිමි වී තිබෙන බැවිනි. 

“තණතිල්ල දඟ පන්දු යවන්නන්ට උචිත විදිහට තමයි හදලා තියෙන්නේ. පල්ලෙකැළේ තණතිල්ල වගේම තණතිල්ලක් තමයි ලැබිල තියෙන්නේ”

“අපිට ධනංජය වෙනුවට ක්‍රීඩකයන් දෙන්නෙක් ඉන්නවා... නිශාන් පීරිස් සහ ලක්ෂාන් සඳකැන්...ඒ දෙන්නගෙන් එක්කෙනක් තමයි ක්‍රීඩා කරවන්න  බලාපොරොත්තු වෙන්නේ” යයි මෙම තරගය සඳහා සකස් කළ තණතීරුව සම්බන්ධයෙන් කළ විමසීමේදී කණ්ඩායමේ වැඩ බලන නායක සුරංග ලක්මාල් පැවසීය. නායක දිනේෂ් චන්දිමාල් ඉකිළියේ ආබාධයකට ලක්ව සිටින බැවින් මෙම තරගයේදීත් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව ලක්මාල්ට ලැබී තිබේ. 

ලක්මාල් වේග පන්දු යවන්නකු වන නමුත් ඔහු විශ්වාසය තබා ඇත්තේ දඟ පන්දු යවන්නන් කෙරෙහිය. 

“අපි පසුගිය කාලය පුරාම ලංකාවේ ක්‍රීඩා කරද්දී දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරු මත තමයි ක්‍රීඩා කළේ. මොකද අපේ ශක්තිය දඟ පන්දු යවන්නන් නිසා. අවාසනාවට වගේ අන්තිම තරග දෙකේදී දඟ පන්දු යවන්නන්ගෙන් අපි බලාපොරොත්තු වූ තරම් ඉක්මනට කඩුලු දවාගන්න බැරිවුණා...”යයි ලක්මාල් කියයි. 

ඇත්ත ඇති සැටියෙන් ගෙන බැලුවහොත් පසුගිය තරග දෙකේදීම දඟ පන්දු යවන්නෝ සිය කාර්යය ඉටු කළහ. සැබවින්ම අසාර්ථක වූවෝ පන්දු යවන්නෝ නොව පිතිකරුවෝය. එංගලන්තයට එරෙහිව පැවැති ඉනිම හතරේදීම ශ්‍රී ලංකා පිලට ලකුණු 300 සීමාව පසුකර යා හැකිවූයේ එක වරකදී පමණි. ඉතිරි ඉනිම තුනේදීම ලකුණු 250 ක් සහ ඊට අඩු ලකුණු විය. 

පරාජය වූ ටෙස්ට් තරග දෙකේදීම එංගලන්ත නායකයා කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ආසියානු කලාපයේ, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේදී, පැවැත්වෙන ටෙස්ට් තරගයකදී කාසියේ වාසිය දිනාගැනීමත්, පළමුව පන්දුවට පහර දීමත් යනු තරගයේ අඩක් ජයගැනීමකි. එසේ වුවත් මෙම තරග දෙකේදීම එංගලන්ත පිලේ පළමු පිතිකරුවෝ පස්දෙනා ලකුණු 103 කට සහ 139 කට දැවී ගියහ. ඒ අවස්ථාවේදී නැගී සිටිමින් එංගලන්ත ලකුණු මල්ල තරකරන ලද්දේ පසුපෙළ පිතිකරුවන් විසිනි. 

කෙසේ වෙතත් තුන්වැනි තරගයේදී එම හිදැස වසා දැමීමට තමන් සූදානම් බව නායක සුරංග ලක්මාල් කියයි. “ඒකට අපේ සැලැස්මක් තියෙනවා. අපි ඒක ඒ විදිහට ක්‍රියාවේ යොදවනවා” යයිද ලක්මාල් පැවසීය. 

කුසල් මෙන්ඩිස් අසාර්ථක වීමත් ශ්‍රී ලංකා පිල හමුවේ ඇති බරපතළ හිසරදයකි. මෙන්ඩිස් සතු නිසඟ කුසලතාව හේතුවෙන් එවන් ක්‍රීඩකයකු කණ්ඩායමෙන් ඉවත් කර තැබීමත් අනුවණ කමකි. කොයි මොහොතේදී හෝ ලකුණු 150 ක ටෙස්ට් ඉනිමක් දිගහැර ගැනීමේ හැකියාව කුසල් මෙන්ඩිස්ට තිබේ. එහෙත් ලකුණු සටහන් පොතේ වාර්තා වන ආකාරයට නම් ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම 12 දීම වාර්තා වී ඇත්තේ එකම අර්ධ ශතකයක් පමණි. 

“අපි ටෙස්ට් තරග ජයග්‍රහණය කරපු අවස්ථාවලදි කුසල් ඒ වෙනුවෙන් හොඳ දායකත්වයක් දක්වලා තියෙනවා. මම නායකයා නම් මගේ කණ්ඩායමේ කුසල් ඉන්නවා......දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරන්නෙත් නෑ. අනෙක් පිතිකරුවන් වුණත් අත්දැකීම් අඩු අය. ඒ නිසා කුසල් ඉන්න ඕනා. මොකද අපේ ඊළඟ සංචාර වුණත් ඉතාමත් වැදගත් ඒවා. ඒ නිසා මේ වෙලාවේ එයාව එළියෙන් තිබ්බොත් තවත් මානසිකව වැටෙනවා.....අපි කණ්ඩායමක් හැටියට බලන්නේ හොඳට කරන කෙනාට වැඩිය දස්කම් අඩු කෙනාව ඇදගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලයි...කුසල් මෙන්ඩිස් කියන්නේ අපට ඉදිරියේදී ගොඩාක් වටින ක්‍රීඩකයෙක්” යයිද ලක්මාල් පැවසීය. 

පිතිකරුවන් අසාර්ථක වෙමින් සිටියද අද තරගයට ධනුෂ්ක ගුණතිලක කැඳවන්නේද නැද්ද යන්න පිළිබඳවත් ඊයේ සවස් වන තුරුම තීරණයක් නොතිබිණ. 

“ධනුෂ්ක ගුණතිලක අපි සංචිතයට ඇතුළත් කරලා තියෙනවා වුණත් හෙට තරගයට එයා ක්‍රීඩා කරවනවාද කියලා තාම තීරණය කරලා නෑ..අපි ධනුෂ්කව ගෙන්නුවේ එයාට (පිට) දඟ පන්දු යවන්න පුළුවන් නිසා. ඒත් කණ්ඩායමේ සංයුතිය තාමත් තීරණය කරලා නෑ” යයි ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී නායකයා පැවසීය. එහෙත් ධනුෂ්ක ඊයේ පැවැති පුහුණුවීම් වලදී චන්දික හතුරුසිංහ මහතාගේ විශේෂ අවධානයට ලක්ව සිටි අතර ‘රිවර්ස් ස්වීප්’ සහ ‘ස්වීප්’ පහර හොඳින් පුහුණු වෙමින් සිටියේය. 

ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ භූමිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිලට දිගු කාලීන ප්‍රශ්නයක් තිබේ. දිමුත් කරුණාරත්න සාර්ථක දස්කම් පෙන්වමින් සිටින නමුත් කෞෂාල් සිල්වාගෙන් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නොවේ. 

වසර 2016 හරාරේහිදී, සිම්බාබ්වේ පිලට එරෙහිව, ලබාගත් අර්ධ ශතකයෙන් පසු කෞෂාල් සිල්වා ටෙස්ට් ඉනිම 17 ක් ක්‍රීඩා කර ඇතත් ඒ අතරවාරයේදී එකම අර්ධ ශතකයක් හෝ ලබාගෙන නැත. අනෙක් අතට ඔහු ඉනිම ආරම්භ කරන පසුගාමී ස්වභාවය නිසා වේලාසනින්ම කඩුල්ලක් දැවී ගියහොත් අංක 3 පිතිකරුවා පීඩනයට පත්වීමත් වැළැක්විය නොහැක. 

මේ හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක වැනි නිදහසේ සිය පහර කරා යමින් ලකුණු ලබාගන්නා ක්‍රීඩකයකුගේ සේවය කණ්ඩායමට අවශ්‍යව තිබේ. එහෙත් ධනුෂ්කට තමන්ව පාලනය කරගැනීමේ අපහසුතාවක් පවතී. ඒ සම්බන්ධයෙන් ඔහු කිහිප වරක්ම දඬුවම්වලට ලක්ව තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී සිටින අවාසනාවන්ත තත්ත්වය මෙයයි. තත්ත්වය එසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තම ගෞරවය රැකගැනීමේ අභියෝගයකට මුහුණ දීමටද සිදුව තිබේ. මේ සියල්ල අතරේ එංගලන්තය සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේදී මෙතෙක් නොලද 3-0 ක තරගාවලි ජයක් ලබාගනිමින් සම්පූර්ණ සුද්දයක් දීමටය. 

වසර 36 ක ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේදී විදේශීය කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී 3-0 ජයක් ලබා ඇත්තේ තරගාවලි දෙකකදී පමණි. රිකී පොන්ටිංගේ නායකත්වයෙන් යුත් 2004 ඕස්ටේ්‍රලියානු පිලත් විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් 2017 දී ඉන්දීය පිලත් ඒ හපන්කම කළහ. එම අවස්ථා දෙකේදීම ඕස්ටේ්‍රලියානු සහ ඉන්දීය කණ්ඩායම් ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 1 හිමිකරගෙන සිටියහ. 

“අපි ඒක කරන්නේ කොහොමද කියන්න බෑ. ඒත් වැදගත්ම දේ තමයි අපි මෙතැන ඉන්නේ ඒ දේ කිරීමේ උවමනාවෙන්. අපට ඒක කරන්න ඕන තැනට අපි ඇවිත් ඉන්නවා” යයි ශ්‍රී ලංකාවේදී 3-0 ක තරගාවලි ජයක් ලැබීම සම්බන්ධයෙන් ජෝ රූට් පැවසීය. 

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 1 හිමි ක්‍රීඩකයා වන ජේම්ස් ඇන්ඩසන් තුන්වැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කිරීමට එංගලන්ත කණ්ඩායම තීරණය කර තිබේ. ඇන්ඩසන්ගේ ස්ථානයට ස්ටුවර්ට් බ්‍රෝඞ් කැඳවීමට නියමිතය. ශාරීරික ආබාධයකට ලක්ව සිටින සෑම් කරන් වෙනුවට ජොනී බෙයාර්ස්ටෝ කණ්ඩායමට එක්ව සිටී. 

ටෙස්ට් තරග 123 කට සහභාගි වී කඩුලු 433 ක් දවාගෙන සිටින ස්ටුවර්ට් බ්‍රෝඞ් ටෙස්ට් පන්දු යවන්නන් අතරේ 13 වැනි ස්ථානයේ සිටින ක්‍රීඩකයා පමණක් නොව දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකුද වෙයි. ටෙස්ට් ශතකයක් සහ අර්ධ ශතක 12 ක් ද සමගින් ටෙස්ට් ලකුණු 3000 ඉක්මවා ලබාගැනීමටද බ්‍රෝඞ් සමත් වී තිබේ. වසර 11 කට ඉහතදී ස්ටුවර්ට් බ්‍රෝඞ් සිය ටෙස්ට් හිස්වැස්ම දිනාගත්තේද එස්.එස්.සී. පිටියේදීමය.


ශ්‍රී ලංකා සංචිතය 
සුරංග ලක්මාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, රොෂේන් සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන් සහ ධනුෂ්ක ගුණතිලක සහ නිශාන් පීරිස්


තුන්වැනි ටෙස්ට් තරගය සඳහා එංගලන්ත කණ්ඩායම 
රෝරි බර්න්ස්, කීටන් ජෙනිංග්ස්, ජොනී බෙයාර්ස්ටෝ, ජෝ රූට් (නායක), බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර්, මුයින් අලී, බෙන් ෆෝක්ස්, අදිල් රෂීඞ්, ජැක් ලීච් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ

 


අදහස් (0)

වැටුණු ළිං කටෙන්ම ගොඩ ඒමේ උත්සාහයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.