Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රොදර්හැම් තරගාවලිය ඉරිදා කටුකුරුන්දේදී

රොදර්හැම් තරගාවලිය ඉරිදා කටුකුරුන්දේදී

ශානුක අරවින්ද - 2019 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය සමග එක්ව ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සංවිධානය කරන 12 වැනි ‘රොදර්හැම්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 24 වැනිදා පෙරවරු 9.00 සිට කළුතර, කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

මේ වසරේ (2019) සියැට් - ස්ලාඩා ශූරතාවලියේ අවසන් තරගාවලිය වන මෙම තරගාවලියේදී මෝටර් රථ තරග 10 ක් සහ යතුරුපැදි තරග 7 ක් සමගින් පැවැත්වීමට නියමිත මුළු ඉසව් ගණන 17 කි. මෙවර තරගාවලිය සඳහා මෝටර් රථ රියැදුරෝ 147 ක් සහ යතුරුපැදි කරුවෝ 76 ක් ලියාපදිංචි වී සිටිති.

තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා තෝරාගැනීම සඳහා වට 22 කින් සමන්විත ගෝන් ප්‍රී මෝටර් රථ තරගයක්ද, දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගැනීම සඳහා වට 22 කින් සමන්විත මෝටර් ජී.පී. යතුරුපැදි තරගයක්ද පැවැත්වේ.

ගෝන් ප්‍රී මෝටර් රථ තරගයේදී එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ රියැදුරන් තරග වදින අතර මෝටර් ජී.පී. යතුරුපැදි තරගයේදී එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1000 දක්වා) යතුරුපැදිකරුවෝ තරග වදිති.

වසර පුරා පැවැති තරගාවලිවලදී කැපී පෙනෙන දස්කම් දැක්වූ අශාන් සිල්වා, අරවින්ද ප්‍රේමදාස, කුෂාන් පීරිස්, උෂාන් පෙරේරා, සජාඞ් සුහේර් සහ ඉෂ්රාක් වහබ් වැනි මෝටර් රථ රියැදුරන් මෙන්ම මේ වසරේදී මෝටර් රථ තරග බිමේ වැඩි වශයෙන් දක්නට නොලැබුණ දිනේෂ් ජයවර්ධන, ඩැරින් වීරසිංහ, පසිඳු පීරිස් සහ ජනක ඩයස් වැනි මෝටර් රථ රියැදුරන්ද මෙම තරගාවලියට සහභාගි වීම සඳහා සූදානමින් සිටිති.

එම තරගකරුවන්ද ඇතුළුව මෙවර ගෝන් ප්‍රී මෝටර් රථ තරගය සඳහා තරගකරුවන් 17 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර 2017 වසරේ පැවැති රොදර්හැම් තරගාවලියේදී ගෝන් ප්‍රී මෝටර් රථ තරගය ජයගත් සජාඞ් සුහේර් සහ 2018 වසරේ රොදර්හැම් පැවැති තරගාවලියේදී ගෝන් ප්‍රී මෝටර් රථ තරගය ජයගත් අශාන් සිල්වා එම තරගකරුවන් අතර පෙරමුණේ පසුවෙති.

මෙවර තරගාවලියේ මෝටර් ජී.පී. තරගය යතුරුපැදිකරුවන් 14 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය. එම තරගකරුවන් අතර ශොයෙල් ඩැනියෙල්, ජේඞ්න් ගුණවර්ධ, ඒරන් ගුණවර්ධන, ප්‍රමුඛ සේසත්, මධුරංග කල්දේරා, නෙඞ් ඩැනියෙල්, ශ්‍රියන්ත අනුරාධ සහ රීසා ඔඩෙයාර් යන තරගකරුවෝ ප්‍රධාන තැනක් ගනිති.

තරගාවලියේ පෙරහුරු තරග සහ කාල ගණනයන් 23 වැනිදා පැවැත්වෙන අතර එහි යතුරුපැදි පෙරහුරු තරග පෙරවරු 7.30 ටද, මෝටර් රථ පෙරහුරු තරග පෙරවරු 9.30 ටද ආරම්භ කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමයේ නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.

දෙවැනි ලෝක යුද්ධ සමයේ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ ප්‍රථම අණදෙන නිලධාරී ලෙස ක්‍රියා කළ කපිතාන් හැන්ක් රොදර්හැම් මහතා අනුස්මරණය කිරීම පිණිස 2007 වසරේදී මෙම තරගාවලිය ආරම්භ කර තිබේ.


අදහස් (0)

රොදර්හැම් තරගාවලිය ඉරිදා කටුකුරුන්දේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.