Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රෂීඩ් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වනසයි

රෂීඩ් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වනසයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගාවලිය පරාජය වී තිබුණද එස්.එස්.සී. පිටියේදී හෝ ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගැනීමේ සටනක නිරතවූ දිමුත් කරුණාරත්න (83) සහ ධනංජය ද සිල්වා (73) එංගලන්තයට සටනක් දීමේ බලාපොරොත්තු අලුත් කළහ. එහෙත් තේ පානයෙන් පසුව තරගය තනි අතින් කණපිට පෙරලූ අදිල් රෂීඞ් සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කරමින් ශ්‍රී ලංකා පිල අමාරුවේ දැම්මේය.
 

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (24 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 240 කට දැවී ගියේ එංගලන්තයට ලකුණු 96 ක මුල් ඉනිමේ වාසියක් ඉතිරි කරමිනි. දෙවැනි ඉනිමේදී ලබාගත් ලකුණු 3 ත් සමගින් එංගලන්ත කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 99 ක් ඉදිරියෙන් සිටී.  

තරගයේ තවත් දින තුනක්ම ඉතිරිව තිබෙන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් දැඩි පීඩනයකට නතුවී තිබේ.
අද තේ පානය වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 183 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 8 ම පැය එකහමාරක් තුළ දැවී ගියේය. අවසන් කඩුලු 9 න් කඩුලු 5 ක් අදිල් රෂීඞ් විසින් හිමිකරගන්නා ලද අතර බෙන් ස්ටෝක්ස් තවත් කඩුලු 3 ක් දවාගත්තේය. අනෙක දුවද්දී දැවී යාමකි.

ෆෝවර්ඞ් ෂෝට් ලෙග් ස්ථානයේ සිටි කීටන් ජෙනිංග්ස් අති විශිෂ්ට ආකාරයන් උඩපන්දුවක් රැකගැනීම නිසා තේ පානයට පෙර ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් කරගත් අදිල් රෂීඞ්, තේ පානයෙන් පසුව ජෙනිංග්ස්ගේම සහාය ඇතිව දිමුත් කරුණාරත්නත් පිටියෙන් ඉවත් කරගත්තේය.

එංගලන්ත පන්දු යවන්නන්ට මහත් උපකාරයක් වූයේ කීටන් ජෙනිංග්ස්ගේ පන්දු රැකීමයි. මෙම ඉනිමේදී ජෙනිංග්ස් විසින් රැකගන්නා ලද උඩපන්දු සංඛ්‍යාව 4 කි. විනාඩි 215 ක් පුරා තණතීරුවේ රැඳුණු කරුණරත්න පන්දු 125 කට මුහුණ දී හතරේ පහර 9 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.

බවුන්සර් පන්දු වරුසාවකින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට සංග්‍රහ කළ බෙන් ස්ටෝක්ස්ගේ වේගය වටහා නොගැනීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම අවසන් වූ නමුත් කඩුලු රකින්නා විසින් එම උඩපන්දුව රැකගත්  ආකාරය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර තිබිණ. අවසානයේදී රූපවාහිනී විනිසුරු මාරියස් එරැස්මස් මහතාද පිටියේ විනිසුරුවරුන්ගේ මතයට එකඟ විය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් අයෙක් ලකුණු 31 දී ආපසු ක්‍රීඩාගාරයට ගියද එංගලන්ත නායකයාගේ දෑත් අතරින් උඩපන්දු දෙකක් ගිළිහී යාමත් සමගම ‘මේ එස්.එස්.සී. ක්‍රීඩාංගණය’ යන්න තරයේ සිහිතබා ගත් දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා හීන්සීරුවේ ශ්‍රී ලංකා ඉනිම ගොඩනඟන්නට වූහ.

දිමුත් කරුණාරත්න ලකුණු 02 ක් පමණක් ලබා සිටියදී පිත්තේ පිටත දාරයේ වැදී ආ ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දුවක් පළමු ස්ලිප් හි සිටි ජෝ රූට්ගේ දෑතේ වැදී හතරේ සීමාව වෙතට ඇදී ගියේය. දිවා ආහාරයෙන් පසුව නැවතත් පන්දුව අතට ගත් බ්‍රෝඞ් දකුණත් පිතිකරුවා වන ධනංජයගේ පිත්තේ පිටත දාරය සොයා ගැනීමට සමත් වූ නමුත් එවරද පළමු ස්ලිප් හිටි එංගලන්ත නායකයා උත්සාහයන් දෙකකින් පසු උඩපන්දුව බිම දැම්මේය.
මෙම අවස්ථාවෙන් අනගි ප්‍රයෝජන ගත් පිතිකරුවෝ දෙදෙනා විනාඩි 141 කදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 142 ක් එකතු කළහ. දෙදෙනා අතර සම්බන්ධතාව බිඳී ගියේ කීටන් ජෙනිංග්ස්ගේ තවත් විශිෂ්ට පන්දු  රැකීමකිනි. එහෙත් සියල්ල වෙනස් වීමට ගතවූයේ පැය එකහමාරකි.

පළමු කඩුල්ල ජැක් ලීච් විසින්  හිමිකරගන්නා ලද නමුත් එය සම්පූර්ණයෙන්ම පාහේ ලීච්ගේ වාසනාවත් ගුණතිලකගේ අවාසනාවත් මත රැඳුනු දැවී යාමක් විය.

එංගලන්ත පන්දු යවන්නන් හමුවේ නොබියව සිය පහර කරා ගිය වමත් පිතිකරුවා සීමාවෙන් ඉදිරියට පැමිණ පන්දුවට පහර දුන්නේය. මිඞ් විකට් කලාපය ඉලක්ක කළද පන්දුව ගුණතිලකගේ පා ආවරණයේ වැදී ඇදී යද්දී පසුපසට දිවයමින් පන්දුවේ ගමනට අවහිර කළ කීටන් ජෙනිංග්ස්ගේ දෑත් අතර එම උඩපන්දුව සිරවිය.
ඊයේ සවස තරගය නතර කරන විට කඩුලු 7 කට ලකුණු 312 ක් ලබා සිටි එංගලන්ත ඉනිම අහවර කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අවශ්‍ය වුයේ තවත් විනාඩි 24 ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස්ගේ අගනා උඩපන්දු දෙකක් නිසා ඩිල්රුවන් පෙරේරා කඩුලු 3 ක් දවාගත් අතර ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පා පසුපසින් පන්දුව කඩුල්ලට යැවූ ලක්ෂාන් සඳකැන් සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කළේය.

ටෙස්ට් තරග 10 කට ක්‍රීඩා කර ඇති චයිනමන් පන්දු යවන්නා, පසුගිය වසරේදී ඉන්දියාවට එරෙහිවද කඩුලු 5 ක් දවාගත් නමුත් මෙම තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 95 කට කඩුලු 5 ක් දවාගැනීම ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙසින් සටහන් වේ.

 

 

ශ්‍රී ලංකා - එංගලන්ත තුන්වැනි ටෙස්ට් තරගය - දෙවැනි දිනයේ විශේෂ අවස්ථා..

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

රෂීඩ් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වනසයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.