Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රන් පදක්කම් 2 ක් ගිළිහුණේ අපේම වරදින්

රන් පදක්කම් 2 ක් ගිළිහුණේ අපේම වරදින්

යොහාන් භාසුර - 2019 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේදී පසුගියදා අවසන් වූ 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට විස්සයි20 ක්‍රිකට් පිරිමි සහ කාන්තා රන් පදක්කම් අහිමිවීමට ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව වගකිවයුතු යැයි ක්‍රීඩා ක්ෂේත්‍රයේ තතු දන්නෝ කියති.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමකට වයස 23 ට වැඩි ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත් කිරීමේ අවස්ථාව තිබියදී එම අවස්ථාව ද, කාන්තා තරගාවලියට ජාතික කණ්ඩායම සහභාගි කිරීමට අවස්ථාව තිබියදී එම අවස්ථාවද, මඟ හැර ඇති බවට මෙහිදී චෝදනා එල්ල වේ.

දකුණු ආසියාවේ ප්‍රබලතම ක්‍රිකට් කණ්ඩායම් සිටින ඉන්දියාව මෙම ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවීම නිසා ශ්‍රී ලංකාව නීති රීතිවලට අනුව ප්‍රබලතම කණ්ඩායම් සහභාගි කරවූයේ නම් රන් පදක්කම් දෙක පහසුවෙන් දිනාගැනීමට තිබූ බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ මතය වී තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශය හෝ ජාතික ඔලිම්පික් කමිටුව එවැනි ප්‍රබල කණ්ඩායම් සහභාගි කළ හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ දක්වා දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරී චන්දිම මාපටුන මහතා පැවසීය.

“අපේ නිලධාරීන් කීප වතාවක් මෙම ක්‍රීඩා උළෙලේ සාකච්ඡා සඳහා සහභාගි වුණා. ඒ සෑම තැනකදීම උපදෙස් ලැබුණෙ වයස 23 න් පහළ කණ්ඩායම් සහභාගි කරන්නයි. අපිට තොරතුරු නිසි පරිදි ලැබුනේ නම් අයි අපි දුර්වල කණ්ඩායම් සහභාගි කරන්නේ”

“මම මෙහිදී විශේෂ දෙයක් කියන්න ඕනේ....ඔය ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේදී ක්‍රීඩා අමාත්‍යංශය සහ එන්.ඕ.සී. (ජාතික ඔලිම්පික් කමිටුව) එක අතර ලොකු ගැටුමක් තිබුණා කියලා මට තේරුණා. අපිට සම්බන්ධීකරණයට කියලා නිලධාරියකු සහ නිලධාරිනියන් දෙදෙනකුගේ දුකරථන අංක දුන්නා නමුත් ඔවුන් දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නෑ. අපිට අලුත් තොරතුරු දුන්නෙත් නෑ” යයිද මාපටුන මහතා පැවසීය.

“නේපාලයට ගියාට පසුව කාන්තා කණ්ඩායමේ කළමනාකරු මෙම තත්ත්වය පිළිබඳව මා දැනුවත් කළා. එහිදී මම ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් විමසුවා අපි කණ්ඩායම් දෙක ඉවත්කරගමුද කියලා. නමුත් ඔහු කිව්වා දැන් අපි නේපාලයට ගිහින් ඉන්න නිසා ක්‍රීඩා කරමු කියලා” යැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.  

විස්සයි20 ක්‍රිකට් පිරිමි සහ කාන්තා රන් පදක්කම සඳහා පැවැති අවසන් මහ තරග දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායම් බංග්ලාදේශය හමුවේ පරාජය වීමෙන් රිදී පදක්කම් හිමිකරගත්තේය.

මෙම තරගාවලියට කණ්ඩායම් සහභාගි කරවීමේ නීති රීති තරගාවලිය ආරම්භ වීමට සති දෙකකට පමණ පෙර වෙනස්වී ඇති අතර එම වෙනස්කම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කරනොමැති බවද වාර්තා වේ.

පිරිමි අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 7 කින් පරාජය කළ බංග්ලාදේශ පිලට ටෙස්ට් පිතිකරුවකු වන සෞම්‍ය සාකර් ඇතුළු වයස 23 ට වැඩි ක්‍රීඩකයෝ සිව් දෙනෙක් ඇතුළත්ව සිටියහ.

කාන්තා අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ලකුණු 2 කින් පරාජය කළ බංග්ලාදේශ කාන්තා පිලට එරට ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩිකාවන් අට දෙනකු ඇතුළත් වූ අතර ඉන් පස්දෙනකු පමණ වයස 23 ඉක්මවූ ක්‍රීඩිකාවෝ වෙති.

 


අදහස් (0)

රන් පදක්කම් 2 ක් ගිළිහුණේ අපේම වරදින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.