Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මිෂාර - ෂමාස් - අහන් කොළඹට ජය ගෙනෙති

මිෂාර - ෂමාස් - අහන් කොළඹට ජය ගෙනෙති

editorial - 2019 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර අද (20) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්කයක් හඹාගිය කොළඹ ක්‍රීඩකයෝ පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ කමිල් මිෂාර පන්දු 119 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 97 ක් රැස්කළේය.

මොහොමඞ් ෂමාස් (65) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 155 කදී ලකුණු 137 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කමිල්, ඉන් නොනැවතී අහන් වික්‍රමසිංහ (55) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පන්දු 80 කදී වාර්තා වූ ෂමාස්ගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 49 කදී වාර්තා වූ අහන්ගේ අර්ධ ශකය හතරේ පහර 6 කින් සමන්විත විය. පන්දු 15 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 14 ක් රැස්කළ තෂික නිර්මාල් කොළඹ කණ්ඩයමේ ජයග්‍රහණය තහවුරු කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 282 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ පවන් රත්නායක (71), තවීෂ කහදුවාරච්චි (64) සහ නවෝද් පරණවිතාන (58) ගාල්ල කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

පන්දු 80 කට මුහුණදුන් පවන්, හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය අලංකාර කළ අතර තවීෂ සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 128 කදී ලකුණු 88 ක සම්බන්ධතාවත් ගොඩනැගීමටද සමත් විය. පන්දු 101 කදී වාර්තා වූ තවීෂගේ අර්ධ ශතකයට හතරේ පහර 8 ක් අන්තර්ගත විය.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 72 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ නවෝද් සහ චේතක දෙනුවන් (18) ගාල්ල කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දුව 28 කදී ලබාගත් සිය අර්ධ ශතකය හතරේ පහර 13 කින් සැරසීමට නවෝද් සමත් වූ අතර පන්දු 40 කදී වාර්තා වූ චේතකගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය.

පන්දු 25 කට ක්‍රීඩා කළ තෙවින් අමරසිංහ එහිදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක් රැස්කළ අතර ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ සඳුන් මෙන්ඩිස් පන්දු 18 කදී ලකුණු 26 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

කොළඹ කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ සොනාල් දිනූෂ ලකුණු 39 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


ගාල්ල කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 282
(පවන් රත්නායන 71, තවීෂ කහදුවාරච්චි 64, නවෝද් පරණවිතාන 58, සඳුන් මෙන්ඩිස් 26, තෙවින් අමරසිංහ 24, චේතක දෙනුවන් 18, සොනාල් දිනූෂ 39/4)

කොළඹ කණ්ඩායම - ඕවර 49.2 කදී කඩුලු 6 ක් දැවී 286
(කමිල් මිෂාර 97, මොහොමඞ් ෂමාස් 65, අහන් වික්‍රමසිංහ 55, තෂික නිර්මාල් නොදැවී 14, චමිඳු විජේසිංහ 13, දුනිත් වෙල්ලාලගේ 47/2)


අදහස් (0)

මිෂාර - ෂමාස් - අහන් කොළඹට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.