Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මිතුන් - රහීම් බංග්ලාදේශය දිනවති

මිතුන් - රහීම් බංග්ලාදේශය දිනවති

ශානුක අරවින්ද - 2019 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොහොමඞ් මිතුන්ගේ (91) සහ මුෂ්ෆිකුර් රහීම්ගේ (50) දක්ෂ පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති පෙරහුරු තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද (23 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ මොහොමඞ් මිතුන් පන්දු 100 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 91 ක් රැස්කළ අතර ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ වනිඳු හසරංග අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. 

මුලු ලකුණු සංඛ්‍යාව 58 ක් වන විට බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ළහිරු කුමාර සමත් විය. කෙසේ වුවත් මුෂ්ෆිකුර් රහීම් සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 71 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මිතුන්, ඉන් නොනැවතී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් මහමදුල්ලා රියාද් (33) සමග එක්ව පන්දු 90 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

පන්දු 46 කදී වාර්තා වූ රහීම්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 37 කට මුහුණදුන් මහමදුල්ලා හතරේ පහර 3 ක් සමගින් ලකුණු රැස්කළේය. ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදෙමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ සබීර් රහමන් පන්දු 26 කදී නොදැවී ලකුණු 31 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 282 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැදෙමින් දක්ෂ පිතිහරඹයක නිතර වූ දසුන් ශානක පන්දු 63 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 86 ක් රැස්කළේය. 

වනිඳු හසරංග (28) සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 48 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශානක, ඉන් නොනැවතී අකිල ධනංජය (9) සමග එක්ව 8 වැනි කඩුල්ල සඳහා පන්දු 42 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 30 කට මුහුණදුන් වනිඳුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් අතුළත් විය. 

ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක නිරෝෂන් දික්වැල්ල පළමු ඕවරයේදීම ලකුණු නොළබාම දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දුටද ලබාගත හැකි වූයේ ලකුණු 2 ක් පමණි. සෙසු ආරම්භක පිතිකරුවා වූ ධනුෂ්ක ගුණතිලක පන්දු 27 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 26 ක් රැස්කළේය. 

මුලු ලකුණු සංඛ්‍යාව 32 ක්ව තිබියදී ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ තෙවැනි කඩුල්ලත් බිඳවැටුණ අතර එතැන් පටන් භානුක රාජපක්ෂ (32) සමග එක්වූ ෂෙහාන් ජයසූරිය (56) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 110 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය. පන්දු 78 කට මුහුණදුන් ෂෙහාන් හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 49 කදී වාර්තා වූ භානුකගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය. 


අදහස් (0)

මිතුන් - රහීම් බංග්ලාදේශය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.