Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස් - ධනංජය ශ්‍රී ලංකා පිල ගොඩගනිති

මැතිව්ස් - ධනංජය ශ්‍රී ලංකා පිල ගොඩගනිති

editorial - 2019 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවා ආහාරයට පසුව ලකුණු 31 ක් ඇතුළතදී ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පිතිකරුවන් සිව් දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යවමින් තරගයේ පාලනය අතට ගැනීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත් වූ නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක් එක් කළ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පිල කිසියම් ගෞරවනීය තැනකට කැඳවාගෙන ආහ. පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (11 වැනිදා) සවස මන්දාලෝකය නිසා ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටියේය.

ටෙස්ට් තරගයක පළමු දිනය තුළදී ඕවර 90 ක් යැවිය යුතු වන නමුත් අද පැවැති මීදුම සහ මන්දාලෝකය හේතුවෙන් යැවිය හැකිවූයේ ඕවර 68.1 ක් පමණි. වේග පන්දු යවන්නන් සිව් දෙනකු සමගින් තරග කරන පාකිස්තානු පිලේ පන්දු යැවීම බෙහෙවින් මන්දගාමී වී තිබිණ.

කාසියේ වාසිය දිනාගත් නායක දිමුත් කරුණාරත්න කිසිම පැකිළීමකින් තොරව පන්දුවට පහර දීම තෝරාගත්තේය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු දෙදෙනාගෙන් දිවා ආහාරයට පෙර පන්දු යවන්නන්ට කිසිම සහනයක් නොලැබිණ. දිවා ආහාරයට යාමට පෙර යැවූ අවසන් ඕවරයේදී පාකිස්තානු නායකයා සිය දඟ පන්දු යවන්නා වූ හැරිස් සොහේල් වෙත යොමු වූ නමුත් එහි ප්‍රතිඵලය වූයේ සොහේල්ගේ හිසට ඉහළින් පන්දුව යන පරිදි ඕෂධ ප්‍රනාන්දු ගැසූ අලංකාර හයේ පහරකි.

කෙසේ වෙතත් දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ පාකිස්තානු පන්දු යවන්නෝ ඉතාම ඉක්මනින් ආපසු තරගයට කඩා වැදුණහ. සිය 24 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමෙන් පසු නායක කරුණාරත්න පළමුවෙන්ම දැවී ගියේය.

16 හැවිරිදි නසීම් ෂාගේ දෙවැනි ටෙස්ට් කඩුල්ල වූ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 40 කට දැවී ගියේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි හැරිස් සොහේල් අතට උඩ පන්දුවක් දෙමිනි. දක්ෂ ලෙස පන්දුවට පහරදුන් ඕෂධගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

පසුව උස්මන් ෂින්වරිගේ මංගල ටෙස්ට් කඩුල්ල බවට පත්වෙමින් කඩුලු රකින ක්‍රීඩක මොහොමඞ් රිස්වාන් අතට පහසු උඩ පන්දුවක් දුන් කුසල් මෙන්ඩිස් ලකුණු 10 කට දැවී ගියේය. මෙම ඉනිමත් සමග අවසන් වරට ක්‍රීඩා කළ ඉනිම් 7 දී ඔහු ලකුණු ලබාගත් ආකාරය සටහන් වන්නේ නොදැවී 84, 16, 10, 53, 20, 32, 10 ක් ලෙස සටහන් වේ.

දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරගයකට සහභාගි වන්නේ මාස 9 කට පසුවය. අවසන් වරට ඔහු සහභාගි වී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයට වන අතර ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම් 6 දී ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 6, 0, 5, 4, 15 ක් සහ 2 ක් ලෙසිනි.

පාකිස්තානු පිල සහභාගි වූ අවසන් ටෙස්ට් තරගයේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව ඇඩිලේඞ් පිටියේදී ශතකයක්ද (113) ලබාගත් යසීර් ෂා මෙම තරගයේදී ඉවත් කර ඇත්තේ ඇදහිය නොහැකි ලෙසිනි. යසීර් ෂා ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 5 කදී කඩුලු 40 ක් දවාගෙන සිටින දකුණතින් පා දඟ පන්දු යවන ක්‍රීඩකයෙකි.  කෙසේ වෙතත් ආරම්භක පිතිකරු අබීඞ් අලී සහ වේග පන්දු යවන ක්‍රීඩක උස්මන් ශින්වාරිට ටෙස්ට් හිස්වැසුම් පිරිනැමීමට පාකිස්තානු තේරීම් කමිටු සභාපති මිස්බා උල් හක් මහතා තීරණය කර තිබිණ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන්නන් තිදෙනකු වන විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ළහිරු කුමාර ක්‍රීඩා කරති. ඩිල්රුවන් පෙරේරා එකම විශේෂඥ දඟ පන්දු යවන්නා වුවද ධනංජය ද සිල්වාටත් දඟ පන්දු යැවිය හැකිය.

ශ්‍රී ලංකා කණ්ඩායම 2009 දී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව පාකිස්තානයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මෙයයි.


අදහස් (0)

මැතිව්ස් - ධනංජය ශ්‍රී ලංකා පිල ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.