Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාව ගෙනාවට ට්‍රික්සි මිස්ට ප්‍රශ්න ඇති කළා

මාව ගෙනාවට ට්‍රික්සි මිස්ට ප්‍රශ්න ඇති කළා

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ශ්‍රී ලංකාව වසර 09 කට පසුව ආසියානු දැල්පන්දු කිරුළ දිනාගැනීමට සමත් වූයේ සත්කාරක සිංගප්පූරුව ලකුණු 69-50 ලෙස සිංගප්පූරුවේදීම පරාජයට පත් කරමිනි. මෙම ජයත් සමග ආසියානු දැල්පන්දු කිරුල වැඩිම වතාවක් දිනූ කණ්ඩායම ලෙස එම වාර්තාව තවදුරටත් දීර්ඝ කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි විය.

මීට පෙර 1989, 1997, 2001 සහ 2009 වසර වලදීත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත්තේය.

බොහෝ කටුක අත්දැකීම් මත කන්ඩායමක් ලෙස එකාවන්ව ශක්තිමත්ව නැගීසිටීමින්  ශ්‍රී ලංකා දැල්පන්දු රාජිනියන් ආ ගමන ගැන පුහුනුකාරිනි තිලකා ජිනදාස අවසන් මහ තරගයෙන් අනතුරුව ලබාදුන් විශේෂ සම්මුඛ සාකච්ඡාවයි මේ.  

 

වසර 09 ක් බලාගෙන හිටපූ ආසියානු දැල්පන්දු කිරුල ඔබගේ මගපෙන්වීම යටතේ ජයග්‍රහණය කළා. ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?
අපි අවුරුදු 09 ක් බලාගෙන හිටියා මේක ගන්න. මේ කුසලානය අවසන් වරට අපි දිනුවෙත් මගේ පුහුනුකාරිත්වය යටතේ 2009 වසරෙදී. අන්තිමට මම එදා දිනුවට පස්සෙ අපි පොඩි උත්සහයක් දැරුවා මේ කුසලානය තෙවරක්ම දිනාගන්න. ඒත් බැරි වුනා. නමුත් මට හරිම සතුටුයි නැවතත් ලංකාවට ඇවිල්ලා මාස 07 ක් වගේ කාලයක් තුල කණ්ඩායම හරි විදිහට පුහුණු කරවලා මේ ලබාගත්තු ජයග්‍රහනය ගැන.

 


තරගාවලිය දිනන්න ඔබ සැලසුම් කලේ කොහොමද?
මට ලොකු විශ්වාසයක් තිබුණා මගේ ක්‍රීඩිකාවන් මේක ලංකාවට දිනලා දේවි කියලා. ඒකට හේතුව තමයි ඔවුන් පුහුනුවීම්වලදී ප්‍රදර්ශනය කල විනය. හොඳ ක්‍රීඩිකාවන්ට විනය හරිම වැදගත්. මම ලංකාවට එනකොට ගොඩාක් අය කිව්වා ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් ඉන්නෙ, මෙයාලව තිලකට හසුරුවන්න අමාරුයි, ප්‍රශ්න තියෙනවා කියලා.

මම විශ්වාස කළා ලමයිව විනයක් ඇතුව හැසිරෙව්වොත් අපිට හොද කන්ඩායමක් හදාගන්න පුලුවන් කියලා. ඒ ප්‍රතිපල තමයි අපි අද මේ දකින්නේ.

ක්‍රීඩිකාවන්ගේ මනස හදන්නත් ඔබ කටයුතු කළා.
ක්‍රීඩිකාවන්ගේ යහපත් ශාරීරික යෝග්‍යතාවක් තිබුණා. එහෙම තිබුනොත් පමණයි අපිට මානසිකව ශක්තිමත් වෙන්න පුලුවන්. මම මෙතැනදි ස්තුතිවන්ත විය යුතුයි නාලක හේවාමද්දුම මහතාට. ඔහු තමයි ක්‍රීඩිකාවන්ට අවශ්‍ය අභිප්‍රේරන කටයුතු කලේ. ක්‍රීඩිකාවන්ගේ මනස හදන්න ඔහු බොහෝ දේ කළා.

 


සිංගප්පූරුව ඔවුන්ගේ රටේදීම පරාජය කිරීම ඔබ දකින්නේ කොහොමද?
තරගය ආරම්භ කිරීමට පෙර මටත් පොඩි චකිතයක් තිබුණා. ඒ මොකද අපි දන්නවා සිංගප්පූරු කණ්ඩායම කියන්නේ විශ්වාස කරන්න බැරි කන්ඩායමක්. ඔවුන් කොයි මොහොතේ හෝ ඉතාමත් ඉක්මනින් දක්ෂතා අතරට එන කන්ඩායමක්. ඔවුනුත් තරග දෙකක් දිනලා තමයි අවසන් මහා තරගයට ආවේ. ඔවුනට ප්‍රේක්ෂක සහයෝගය තිබුණත් කියන්න සතුටුයි අපේ ලාංකිකයන් ඇවිත් අපිට හොඳ සහයෝගයක් දැක්වුවා. පොඩි චකිතයක් තිබුනත් අපි මේ අවුරුද්දේ 04 වැනි වතාවට සිංගප්පූරුව සමග තරග කරලා ඒ තරග 04 ම දිනන්න අපිට පුලුවන් වුනා.

 


ආසියාව දිනන්න ඔබ සෑහෙන කැපකිරීමක් කලා?
මම හැමදාම ක්‍රිඩිකාවක් විදිහට සහ පුහුනුකාරිනියක් විදිහට කරන දේ හරියට උපරිම කැපවීමෙන් කළා. මම හැමදේම කරන්නේ සැලසුමක් ඇතුව. මට මම ලංකාවේ නොසිටිය කාලෙදි පෙනුනා අපේ ක්‍රීඩිකාවන් දක්ෂයි. එහෙත් ඔවුනට මගපෙන්වීමක් නැති බව. ඒත් ඔවුන්ගේ ශාරීරික යොග්‍යතාව කාර්තු හතරක් ක්‍රීඩා කරන්න තරම් නොමැති බව.
මට ලබුනේ කුසලතා තිබුනු ළමයි. මට හදන්න තිබුනු වැරදි මම හැදුවා. අද අපේ පුහුනුකාරිණියෝ ගොඩක් අය හිතනවා අව්වේ හිටියම, සල්ලි හම්බ කළාම, ගොඩාක් කන්ඩායම් පුහුනු කළාම ඒ අය තමයි ඉන්න හොඳම පුහුනුකරුවෝ කියලා. ඒක නෙමෙයි වෙන්න ඕන. කළයුත්තේ දැනුම යාවත්කාලීන කර ගැනීමයි. තේරුම්ගන්න ඕන අනිත් කාරණය ක්‍රීඩිකාවන්ට අවශ්‍ය මොනවද කියන දේ.

 


ඔබ ලංකාවේ පුහුනුකාර ධුරය භාරගද්දී බොහෝ දෙනෙක් ඔබට විරුද්ධව හිටියා. නමුත් එවකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දැඩි තීන්දුවක හිටියා ඔබව පුහුණුකරු ධුරයට පත් කල යුතුමයි කියලා?
මම හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ එදා ගත්තු තීරණයට. එතුමා මගෙන් ඉල්ලුවේ වෙන කිසිම දෙයක් නෙමෙයි මේක හරියට කරලා රට දිනවලා දෙන්න කියලා විතරයි. මොකද එතුමට තේරුම් ගිහින් තිබුණා දැල්පන්දුවේ තිබුනු තත්ත්වය.

ඔහු මගෙන් ඉල්ලා සිටියා මේක හරි මාර්ගෙට දාන්න කියලා. ඒවගේම දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාටත් ස්තුතිවන්ත විය යුතුයි. මොකද අපිට මලාවි යන්න ලොකු අවශ්‍යතාවක් තිබුනත් සල්ලි තිබුනේ නැහැ. එවෙලේ එතුමා ඉදිරිපත් වෙලා කිසිම ලිපි ගනුදෙනුවක් නොමැතිවම උදව් කලා. මම හිතන්නේ අපිට ඒ ලැබුනු පන්නරයත් ඉවහල් වුනා තරගාවලිය ජයගන්න.

 


මලාවි තරගාවලිය ගැනත් බොහෝ දෙනා උසුලු විසුළුවෙන් කතා කලා?
මලාවි කියන්නේ ලෝකේ 06 වැනි ස්ථානයේ ඉන්න කන්ඩායම. අපි ඔවුන්ට පරාද වුනේ ලකුනු 10 කින් 15 කින්. ඒ තරගාවලියෙන් ලද අත්දැකීම තමයි අපිට ලොකුම පිටිවහලක් වුනේ ආසියානු තරගාවලිය ජයගන්න.
අපිව මලාවිවලදී බලාගත්තේ සියලුම පහසුකම් සැපයුවේ ඉරේශායි තරංගයි, ඔවුන්ව මේ අවස්ථාවේ මතක් කළ යුතුයි.

ඒ වගේම මම විශේෂයෙන් ස්තුති කරන්න ඕන දැල්පන්දු සභාපතිනි ට්‍රික්සි නානායක්කාර මහත්මියට. ඇය තමයි මාව ලංකාවට ගෙන්වන්න මැදිහත් වුනේ. මාව මෙහෙට ගෙනාවයි කියලා ට්‍රික්සි මිස්ට ගොඩාක් ප්‍රශ්න ඇති කළා. එසේම ස්තුති කරන්න ඕන කන්ඩායමේ කලමනාකාරිනී තනූජාටත්. ඇය තමයි මගේ පිටුපස හිටිය යෝධ සෙවනැල්ල.

 


අදහස් (3)

මාව ගෙනාවට ට්‍රික්සි මිස්ට ප්‍රශ්න ඇති කළා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.