Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර කණ්ඩායම ලකුණු 33 කින් ජය ලබයි

මහනුවර කණ්ඩායම ලකුණු 33 කින් ජය ලබයි

ශානුක අරවින්ද - 2019 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර අද (16 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 33 ක ජයක් අත්කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 253 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට ඕවර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 219 ක් පමණි. සුභානු රාජපක්ෂ, කවිඳු වික්‍රමසිංහ, රුවින් පිරීස් සහ රොහාන් සංජය කඩුලු 2 බැගින් දවාගනිමින් ගාල්ල කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

ගාල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 60 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් රැස්කළ අතර චේතක දෙනුවන් පන්දු 43 කදී ලකුණු 33 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. පන්දු 38 කදී ලකුණු 38 ක් රැස්කළ අම්ෂි ද සිල්වා හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසීය.

දුනිත් වෙල්ලාලගේ දැවීයාමත් සමග ගාල්ල කණ්ඩායම ලකුණු 155 කට කඩුලු 8 ක් ලෙස අසරණ තත්වයට පත් වූ අතර එතැන් සිට නමවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අම්ෂි ද සිල්වා (38) සහ රවීන් ද සිල්වා (නොදැවී 27) ගාල්ල කණ්ඩායමට යළිත් ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආහ.

රොහාන් සංජයගේ පන්දුවක් හමුවේ රුවින් පීරිස් අතට උඩ පන්දුවක් දෙමින් අම්ෂි දැවීයාම හේතුවෙන් ගාල්ල ඉනිමේ නමවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත්වූ අතර ඔවුන් ජයග්‍රහණය වෙනුවෙන් තබා තිබූ අවසන් බලාපොරොත්තුවද සුන් වී ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම ඕවර 47.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 252 ක් ලබාගත් අතර එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු කවිඳු වික්‍රමසිංහ පන්දු 98 කදී හතරේ පහර 15 ක් සමග ලකුණු 97 ක් රැස්කිරීමට සමත් විය.

ලකුණු 78 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී අවිෂ්ක තරිඳු (74) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 103 කදී ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනගමින් මහනුවර ඉනිම ශක්තිමත් කිරීමටද කවිඳු සමත් විය. පන්දු 71 කදී වාර්තා වූ අවිෂ්කගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.

කෙසේ වුවත් සඳුන් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ අම්ෂි ද සිල්වා අතට උඩපන්දුවක් දෙමින් ශතකය පෙනි පෙනී සිටියදී කවිඳු දැවී යෑමත් සමග මහනුවර කණ්ඩායමේ පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත්විය. කවිඳුගේ දැවී යෑමෙන් අනතුරුව මහනුවර ඉනිමට තවත් ලකුණු 25 එක්වන විට ජිතේෂ් වාසලගේ සහාය ඇතිව අවිෂ්කඳ පිටියෙන් ඉවත් කිරීමට සඳුන් මෙන්ඩිස් සමත් විය.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ සඳුන් මෙන්ඩිස් ලකුණු 57 කට කඩුලු 4 ක් බිඳහෙළු අතර මහනුවර පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා ඔහුට අනගි දුන් අම්ෂි ද සිල්වා ලකුණු 32 කට කඩුලු 3 ක්ද, ජිතේෂ් වාසල ලකුණු 17 කට කඩුලු 2 ක්ද දවාගත්හ.

මහනුවර කණ්ඩායම - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 252
(කවිඳු වික්‍රමසිංහ 97, අවිෂ්ක තරිඳු 74, රොහාන් සංජය 22, කවිඳු නදීෂාන් 15, සඳුන් මෙන්ඩිස් 57/4, අම්ෂි ද සිල්වා 32/3, ජිතේෂ් වාසල 17/2)

ගාල්ල කණ්ඩායම - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 219
(දුනිත් වෙල්ලාලගේ 44, අම්ෂි ද සිල්වා 38, චේතක දෙනුවන් 33, රවීන් ද සිල්වා නොදැවී 27, පවන් රත්නායක 21, සඳුන් මෙන්ඩිස් 20, සුභානු රාජපක්ෂ 30/2, කවිඳු වික්‍රමසිංහ 34/2, රුවින් පිරීස් 39/2, රොහාන් සංජය 49/2)

 


අදහස් (0)

මහනුවර කණ්ඩායම ලකුණු 33 කින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.