Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැනලා දුවන්න ලෑස්තිවෙන්න එපා

පැනලා දුවන්න ලෑස්තිවෙන්න එපා

editorial - 2019 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් ක්‍රීඩාවේ නිර්මාතෘවරුන් වූවත් තවමත් ලෝක කුසලානය දිනා නැති එංගලන්තය වසර 27 කට පසුව නැවත වතාවක් ලෝක කුසලානයට අත පොවන දුරින් සිටී. ඒ සම්බන්ධයෙන් උදම් වී නැති එංගලන්ත නායක ඔයින් මෝගන් කියන්නේ මෙම “අවස්ථාවෙන් පැනලා දුවන්න ලෑස්තිවෙන්න එපා” කියාය.

එංගලන්ත නායකයා එයින් අදහස් කරන්නේ ලෝක කුසලාන අවසන් මහ තරගයකදී දැනෙන පීඩනයට එඩිතරව මුහුණ දෙන ලෙසයි.  ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර අනිද්දා (ඉරිදා) එංගලන්තයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

“මම හිතන විදිහට නම් ඉරිදා කියන්නේ කලබල වෙලා පැන දුවන්න  ඕන දවසක් නෙමේ. හොඳින්, බලාපොරොත්තු සහගතව මුහුණ දිය යුතු දවසක්....හරියට අද වගේ”

“ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ක්‍රීඩා කිරීමේ අවස්ථාව අපිම සකස්කර ගත්තා. ඒ නිසා මේකත් කලින් පැවැති තරගය වගේම තමයි. දස්කම් දැක්වීම අතින් කරන්න පුළුවන් හැම දේම කරලා බලමු” යයි බ්‍රහස්පතින්දා සවස ඕස්ට්‍රේලියානු පිල කඩුලු 8 කින් පරාජය කිරීමෙන් පසුව එංගලන්ත නායකයා පැවසීය.

එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැති මූලික වටයේ තරගයේදී එංගලන්ත පිල විසින් නවසීලන්තය ලකුණු 119 කින් පරාජය කරන ලදි. එහෙත් ලෝක ක්‍රිකට් සටන්බිමේ ප්‍රබලතම පිතිකරු හමුදාව සිටින ඉන්දීය කණ්ඩායමේ ලකුණු 5 කට කඩුලු 3 ක් සටහන් කළ නවසීලන්ත පන්දු යවන්නන් කිසිම ආකාරයකින් අඩුවෙන් තක්සේරු කිරීමට එංගලන්තය සූදානම් නොවේ.

“ඔවුන්ට අවස්ථාව ලැබුණ වෙලාවේ ඔවුන් ඉතාමත් හොඳින් තමන්ගේ කාර්යය කළා. ඉරිදා වුණත් ඔවුන්ව පරාජය කරන්න ලේසි වෙන්නේ නෑ....අපි බලමු...” යයි මෝගන් කීවේ නවසීලන්ත පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් එක්ව තමන්ට තිබූ සුළු ලකුණු සංඛ්‍යාව (239) ආරක්‍ෂා කරගත් විලාසය සිහිපත් කරමිනි.

“අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් එංගලන්ත වාසීහු මහත් ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව ඝෝෂා කරමින් සිටිති” යයි එංගලන්තයේ සුප්‍රකට ගුවන් විදුලි සේවයකින් ප්‍රකාශ කෙරිණ. ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත පුහුණුකරුවා වන ඕස්ට්‍රේලියානු ජාතික ට්‍රෙවර් බේලිස් මහතා කීවේ අපූරු කතාවකි.

“අපි තාම කිසිවක් දිනලා නෑ.....අපිට ඔය මොකවත් ඇහෙන්නේ නෑ” යයි බේලිස් මහතා කීවේය.
එංගලන්තය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම හේතුවෙන් අවසන් මහ තරගයේ සජීවී රූපවාහිනි විකාශය එංගලන්තය පුරාම නොමිලයේ විකාශය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. මෙවැන්නක් සිදුවන්නේ 2005 අළු බඳුන තරගාවලියෙන් පසුවය.

වසර හතරකට ඉහත ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම විසිවී ගිය එංගලන්ත කණ්ඩායම මේ වන විට එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 1 ස්ථානයට පැමිණ සිටී. සැබවින්ම කියතහොත්, ඊයේ ලබාගත් ජයග්‍රහණය, එංගලන්ත කණ්ඩායමක් 1992 න් පසුව එක්දින තරගාවලියකදී පිළිමළුන් පිටුදැකීමේ තරගයක් ජයගත් පළමු අවස්ථාවද වෙයි.

එංගලන්තය 1979 සිට තුන් වතාවක් (1979, 1987 සහ 1992) ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ඇතත් තවමත් ලෝක කුසලානයට අත තැබීමට සමත් වූ කණ්ඩායමක් නොවේ. නවසීලන්තය පළමුවරට ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ 2015 දී වූවත් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පිටියේදී පැවැති අවසන් මහ තරගයේදී පරාජය විය.


අදහස් (0)

පැනලා දුවන්න ලෑස්තිවෙන්න එපා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.