Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු නිලවරණයේ ඉරණම ඇමැති අත

පාපන්දු නිලවරණයේ ඉරණම ඇමැති අත

සංජය එරමුදුගොඩ - 2019 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය කැඳවීම ක්‍රීඩා ඇමැතිවරයා ලබාදෙන උපදෙස් මත තීරණය කෙරෙන බව එහි ලේකම් ජස්වර් උමාර් මහතා පවසයි. කෙසේ වුවත් එහි වත්මන් නිල කාලය හොබවමින් සිටින නිලධාරි මණ්ඩලයේ අදහස වන්නේ පසුගිය 2017 ජුලි 1 වැනිදා පැවැති නිලවරණයෙන් කළ පත්වීම් එතැන් සිට ඉදිරියට වසර හතරක් බල පැවැත්වෙන බැවින් මෙම වසරේ නිලවරණයකට යාම අවශ්‍ය නොවන බව යයි ද ඒ මහතා ‘ලංකාදීප’ය කළ විමසුමක දී පැවැසීය.

පාපන්දු සම්මේලනයේ නිලවරණය සම්බන්ධයෙන් මතුවී තිබෙන වත්මන් තත්ත්වය පසුගිය සෙනසුරාදා (11) රැස්වූ එහි විධායක සභාවේ හා කවුන්සිල රැස්වීමේ දී ද සාකච්ඡා වී තිබේ. මීට හේතුවී ඇත්තේ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන මීගමුව පාපන්දු ලීගයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට යොමු කළ ලිපියකි.

එම ලිපියෙන් රුද්‍රිගු මහතා අවධාරණය කර ඇත්තේ ජාතික ක්‍රීඩා සංගම් නියාමනය කෙරෙන ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි අනුව ‘වසර හතරක් නොඉක්මවන කාල සීමාවක්’ සඳහා ධුර දැරිය යුතු බවට ඇති වගන්තියට මුවාවී වසර හතරක් තනතුරු දැරීමට පාපන්දු සම්මේලනයේ වත්මන් නිලධාරින් උනන්දුවී සිටින බවයි.

එහිම තවදුරටත් දක්වා ඇති පරිදි වසර 2016 ඔක්තෝබර් 27 වැනිදා නිකුත් වූ අති විශේෂ ගැසට් පත්‍රයේ තෙවැනි උපලේඛනයට අනුව ජාතික ක්‍රීඩා සංගම් ධුර කාලයක් එකී සංගම්හි ව්‍යවස්ථාවෙන් තහවුරු කර ගැනීම අනිවාර්යය වුවත් එම විධි විධාන පාපන්දු සම්මේලනය නොසලකා හැර ඇතැයි ද දන්වා තිබේ. මෙම නියමයට අනුව දැල්පන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා ඇමැතිවරයා මෑත කාලයේ ලබාදුන් නියෝගය ද එම ලිපියෙන් සිහිපත් කර තිබේ.

ඒ පිළිබඳව පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා මෙසේ ද පැවැසීය. “අපි කවුරුත් දන්නා පරිදි පාපන්දු සම්මේලනයේ නිලවරණය පසුගිය ජුනි 1 වැනිදා කැඳවූයේ ධුර කාලය අවුරුදු හතරක් ලෙස ප්‍රසිද්ධ කරමිනුයි.
එම ලේකම් ධුරයට අයැදුම් කළ නාමයෝජනා පත්‍රිකාවේ සඳහන් වුණේ ධුරයේ නිල කාලය වසර හතරක් කියායි. එදා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට තරග වැදුණු රංජිත් රුද්‍රිගු මහතා සිය නාමයෝජනා අයැදුම් පත්‍රය පුරවා අත්සන් කළේත් අවුරුදු හතරක් වන නිල කාලයක් සඳහායි.

කොහොමටත් අපි වැඩ කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදෙන උපදෙස් මතයි. මේ ගැනත් අපි ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදෙස් මත කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි පසුගිය නිලවරණය පැවැත්වූයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ. ඒ නිසා මෙතනදි පාපන්දු සම්මේලනයේ වරදක් වෙලා නැති බවයි අපේ අදහස.


අදහස් (0)

පාපන්දු නිලවරණයේ ඉරණම ඇමැති අත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.