Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පටන්ගත්ත දේ තව තැනකදිත් කරමු

පටන්ගත්ත දේ තව තැනකදිත් කරමු

editorial - 2019 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පකිස්තානු සංචාරයට නොගියද එනිසාම තරුණ ක්‍රීඩකයන්ට දොර විවෘත වූ බවත් ලෝකයේ අංක 1 කණ්ඩායම ඔවුන්ගේ රටේදීම පරාජය කිරීම නිසා අනාගතයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සාර්ථක කර ගන්න තවත් ක්‍රීඩකයන් පිරිසක් සිටින්නේ යයි ලෝකෙටම පෙන්නා දුන් බවත් ලසිත් මාලිංග පැවසීය.

ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (18 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක ලසිත් මාලිංග එසේ පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට අද පෙරවරුවේදී පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපුරුදු පරිදි ආගමික වතාවත් වලට සහභාගි වෙමින් පසුව කණ්ඩායම ඡායාරූපයටද පෙනී සිටියහ. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන්නේ 21 වැනිදා අලුයමයි.

“පාකිස්තානයේදී තරග වලට සහහාගි වෙන්න බැරි වුනේ අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තුන් දෙනෙකුට පමණයි. මොකද කුසල් මෙන්ඩිස් ආබාධයට ලක් වුනා. ඒ කියන්නේ එයා හොඳ වෙලා හිටියත් යන්න හම්බෙන්නේ නෑ. ඊට අමතරව සහභාගි වුනේ නැත්තේ මම, කුසල් ජනිත් සහ නිරෝෂන් දික්වැල්ල.....”

“ඉතින් ක්‍රිඩකයෝ තුන් දෙනෙක්ගේ අඩුව පාඩුවක් නොවන විදියට පෙන්නලා ඒ ලාබාල ක්‍රීඩකයන් හොඳින් ක්‍රිඩා කළා. ඒක තමයි මගේ බලාපොරොත්තුවත්..”

“දැන් ශ්‍රි ලංකාව සතුව, ශක්තිමත්, හොඳ තරුණ විස්සයි-20 ක්‍රීඩකයන් පිරිසක් ඉන්නවා ඉතින් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඔවුන් ඒ ක්‍රීඩා කළ ආකාරයටම ක්‍රීඩා කළොත් අපිට ජයගන්න පුළුවන්” යයි පැවසූ ලසිත් මාලිංග..
“පාකිස්තානයට වඩා කඩුලු වෙනස් වෙන්න පුලුවන්. මොකද තත්වය අනූව.. ඒක නිසා වැදගත් වෙන්නේ එක තැනකින් පටන් ගත්ත දේ තව තැනකදි හොඳට කරන එකයි. ඒක නිසා ඔවුන්ගේ මානසිකත්වය හදාගෙන ඒ තණ තීරුවලට හොඳින් මුහුණ දුන්නොත් මං හිතනවා අපිට ජයගන්න පුළුවන්” යයිද පැවසීය.

වසර 2020 දි ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේද ඕස්ට්‍රේලියාවේදිය. එබැවින් ඕස්ට්‍රේලියානු තණතීරුවලදී සාර්ථක වියහැකි ක්‍රීඩකයන් කවුරුන්ද යන්න බලාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති හොඳම අවස්ථාවද මෙයයි.

“මේක තමයි පරීක්‍ෂණයක් කිරීමට අපිට තියෙන හොදම අවස්ථාව. ඉතින් මං හිතනවා ඒ පරීක්‍ෂණයට හොදින් මුහුණ දුන්නොත්, එහෙදි සාර්ථක වන ක්‍රීඩකයන්ට ඉදිරියේදි විස්සයි විස්ස කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් ලබා ගන්න හොඳ අවස්ථාවක් තියෙනවා” යයිද ශ්‍රී ලංකා නායකයා පැවසීය.

විස්සයි 20 තරග වලදී විශාලතම බලපෑමක් ඇතිකරන්නේ ක්‍ෂණිකව ගනු ලබන තීරණයයි. ඕවර 20 තරගයකදී එය එක්දින හෝ ටෙස්ට් තරග වලට වඩා වේගවත්ව කළයුතු කාරියකි.

“තරගයක් ජයග්‍රහණය කරන්න තමන් ගන්න එක තීරණයක් ඇති වෙන්න පුලුවන්. ඒක නිසා ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය වගේම ඔවුන් ඒ අවස්ථාවේ ගන්න තීරණයත් හරියට බලපානවා තරගයේ අවසන් ප්‍රතිඵලයට. ඒක නිසා අපිට වැදගත් වෙන්නේ දක්ෂතාවය වගේම බුද්ධිය.

“ඒ කියන්නේ කිසියම් ක්‍රීඩකයෙක් තරගයකදී හිතන විදිහ හා ඔහු තරගයක් හසුරුවා ගන්නා විදිහ. ඉතින් ඒ හැමදේම බලලා තරග ජයග්‍රහණය කරවන්න පුලුවන් බුද්ධිමත් ක්‍රීඩකයෝ 15 ක් තේරුවොත් තනියම තරගයක් හසුරුවාගන්න පුළුවන් තරමේ ක්‍රීඩකයන් 11 ක් 12 ක් අතර  සංඛ්‍යාවක් කණ්ඩායම් ඉඳීවි. එතැනින් 11 දෙනෙක් තෝරනකොට ඒ කණ්ඩායම තුළ තනියෙන් තරග වදින්න පුලුවන් හැකියාව තියෙන ක්‍රීඩකයෝ අඩුම තරමේ හත් අට දෙනෙක්වත් ක්‍රීඩා කරයි.

“ඉතින් ඒක නිසා මගේ බලාපොරොත්තුව කවුරු නායකත්වය දැරුවත් ලෝක කුසලානය වෙනකොට ඒ වගේ හොඳ, බුද්ධිමත් ක්‍රීඩකයන් පිරිසක් නිර්මාණය කරලා දෙන්නයි” යයිද ලසිත් මාලිංග පැවසීය.
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පැවසුවේ මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණඩායමට මෙන්ම ඕස්ටේ්‍රලියාවටත් හොඳ අභියෝගයක් වන බවයි.

“හැමෝම දන්නවා එයාලා ක්‍රීඩා කරපු විදිහ. පසුගිය අවුරුදු වල විස්සයි-20 තරගාවලි එක්ක බැලුවම එයාලා ඉතාම දක්ෂ ලෙසත්, ශක්තිමත් ලෙසත් ක්‍රීඩා කළා. පාකිස්තානු කණ්ඩායම සමග සංසන්දනය කළ විට මාලිංග ඇතුලු කණ්ඩායම ඉතාමත් ශක්තිමත්. ඒ වගේම අපිට ලොකු හැකියාවක් තියෙනවා. අපිට කලින් තරග වලට වඩා ඕස්ට්‍රේලියාවට විශාල අභියෝගයක් දෙන්න පුලුවන් කියන එක”

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශක්තිමත් කණ්ඩායමක් බවත් ශ්‍රී ලංකා පිල වසර දෙක තුනකට පෙර ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු පිලට වඩා වත්මන් කණ්ඩායම බොහෝ දියුණු වී සිටින බවත් රුමේෂ් රත්නායක මහතා පැවසීය.

“ඕස්ටේ්‍රලියානු පිලටත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පැමිණියා තමයි. ඒක ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක්. ඒත් අපි බය වෙන්නේ නෑ. මට විශ්වාසයි ඔවුන්ට අභියෝග කරන්න පුලුවන් ශක්තිමත් කණ්ඩායමක් විදියට මේ කණ්ඩායම ඉදිරියට යන එක” යයිද පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පැවසීය.


ඡායාරූප : ප්‍රියන්ත වික්‍රමාරච්චි

 


අදහස් (1)

පටන්ගත්ත දේ තව තැනකදිත් කරමු
  • laal Saturday, 19 October 2019 06:37 AM

    එහෙම්නම් ඒ නොගිය තුන්දෙනා හැර පකිස්තානයට ගිහින් දිනලා ආපු ක්‍රීඩකයොම ඔස්ට්‍රේලියාට යවන්නැත්තෙ ඇයි?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.