Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්තයට කඩුලු 4 ක ජයක්

නවසීලන්තයට කඩුලු 4 ක ජයක්

editorial - 2019 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

ඕවර 48.3 - නවසීලන්තය 6/246
එන්න එන්නම වැඩිවන පීඩනය හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිය පිත්ත හසුරුවමින් සිටි නවසීලන්ත නායක කේන් විලියම්සන් එජ්බැස්ටන්හිදී අද (19 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී දකුණු අප්‍රිකානුවනට එරෙහිව කඩුලු 4 ක විශිෂ්ට ජයක් කරා නවසීලන්ත පිල කැඳවාගෙන ගියේය.

ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 8 ක් ලබාගත යුතුව තිබිණ. අවසන් ඕවරයේ දෙවැනි පන්දුව මිඞ් විකට් කලාපයට ඉහළින් නරඹන්නන් අතරට යවමින් ලකුණු 6 ක් ලබාගත් විලියම්සන් ඊළඟ පන්දුව ස්වීපර් කවර්ස් කලාපය හරහා හතරේ සීමාවට යැවීය.

----------------------------------------------------------------------------------------------------------------------------

විලියම්සන් නොසැලී ඉදිරියටම යයි

ඕවර 45 - නවසීලන්තය 5/216

නවසීලන්ත ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන්නේ පන්දු 24 කදී ලකුණු 26 ක් පමණි. විස්සයි-20 දැවැන්ත සෙවණැල්ලෙන් වැසී තිබෙන එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු 24 කින් ලකුණු 26 ක් ලබාගැනීම මහ කජ්ජක් නොවේ. ඇරත් නවසීලන්තය සතුව කඩුලු 5 ක් ඉතිරිව තිබේ.

එන්න එන්නම වැඩිවන පීඩනය හමුවේ නොසැලී සිය පිත්ත හසුරුවමින් සිටින නවසීලන්ත නායකයා තනිවම හෝ කණ්ඩායම දිනවීම සිය අරමුණ කරගෙන තිබේ. 45 වැනි ඕවරය වන විටත් සිය කඩුල්ල ආරක්‍ෂා කරගෙන සිටි කේන් විලියම්සන් සිය පසුපෙළ පිතිකරුවා වන කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම්ගෙන් මනාව ප්‍රයෝජන ගනිමින් සිටී.

----------------------------------------------------------------------------------------------------------------------------

තහීර් විශිෂ්ට පන්දු යැවීමක

ඕවර 40 - නවසීලන්තය 5/184

ඉතිරිව ඇත්තේ අවසන් ඕවර 9 පමණි. තවත් ලකුණු 54 ක් අවශ්‍ය තිබෙන බැවින් තමන්ගේ කඩුලු පරෙස්සම් කරගැනීමට නවසීලන්ත පිතිකරුවෝ උත්සුක වෙති.

නායක කේන් විලියම්සන් දිගින් දිගට පන්දුවට පහර දෙමින් තවමත් සටන ගෙන යමින් සිටී.

සිය අවසන් ලෝක කුසලාන තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් සිටින ඉම්රාන් තහීර් සිය පන්දු ඕවර 10 කොටස නිමා කළේය. පන්දු ඕවර 10 දී තහීර්ගෙන් ලබාගත හැකිවූයේ ලකුණු 33 ක් පමණ. යැවූ පන්දු 60 න් පන්දු 33 කදී ලකුණු ලබාගැනීමට අවසර නොදුන් අම්ලා හමුවේ නවසීලන්ත පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ හතරේ පහර දෙකක් පමණි.

----------------------------------------------------------------------------------------------------------------------------

විලියම්සන් - නීෂම් සම්බන්ධතාව බිඳෙයි
ඕවර 32.2 - නවසීලන්තය 5/137
තරගය පුරාම විශිෂ්ට පන්දු රැකීමක නිරතව සිටි හසිම් අම්ලා ස්ලිප්හි සිට රැකගත් උඩපන්දුවක් හේතුවෙන් ජේම්ස් නීෂම් දැවී යාමත් සමගම විලියම්සන් - නීෂම් සම්බන්ධතාව අවසන් විය. මෙම සම්බන්ධතාව ලකුණු 57 කි.

මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ පහළට වැටී සිටින පාකිස්තානු කණ්ඩායම දකුණු අප්‍රිකානුවන්ගේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටී. ඒ සඳහා අවශ්‍ය වන්නේ කේන් විලියම්සන්ගේ කඩුල්ල පමණක් විය හැකිය. ජයග්‍රහණය තවමත් ලකුණු 105 ක් ඈතිනි.

----------------------------------------------------------------------------------------------------------------------------

විලියම්සන් සටන අත නොහරී

ඕවර 22.4 - නවසීලන්තය 4/100 
විලියම්සන් තවමත් සටන අතහැර නැත.
80.00% ක ප්‍රවේගයකික් (පන්දු 55 කදී ලකුණු 44 ක්) ලබා සිටින නවසීලන්ත නායකයා ජේම්ස් නීෂම් සමග එක්ව සටන ගෙනයයි.

නවසීලන්ත ජයග්‍රහණය සඳහා ඉතිරි ඕවර 26 දී තවත් ලකුණු 140 ක් ඕනෑකර තිබේ. විලියම්සන් පිටියේ රැඳුනහොත් ඕනෑම දෙයක් වීමේ හැකියාව තිබේ.

----------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 3 කදී කඩුලු 3 ක්
ඕවර 20 - නවසීලන්තය 4/86 
පිත්ත කඩුල්ලේ වැදීම හේතුවෙන් ඉතාමත් අවසනාවන්ත ලෙස මාටින් ගප්ටිල් දැවී යමෙන් පන්දු 7 කට පසුව රොස් ටේලර් ද එක ලකුණකට දැවී ගියේ නවසීලන්ත පිල සසළ කරමිනි. මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ සිටින වයස්ගතම ක්‍රීඩකයා වන ඉම්රාන් තහීර් සිය පළමු ඕවරය ලකුණු 2 කට සීමා කරගත්තේය.

ඊළඟ ඕවරයේදී පන්දුව අතට ගත් ක්‍රිස් මොරිස් හමුවේ ෆ්ලික් කිරීමකට උත්සාහ කළ රොස් ටේලර්ගේ උඩපන්දුව කඩුලු රකින්නා අත පත්විය. තත්ත්වය වඩාත් බරපතළ වූයේ ටොම් ලෙතම්ගේ දැවී යාමෙනි.

කඩුල්ලක් පමණක් දැවී ලකුණු 72 ක් ව තිබූ ලකුණු පුවරුව ඕවර 3 ක් ඇතුළත කඩුලු 4 ක් දැවී 86 ක් ලෙස වෙනස් වූයේ තරගයේ වාසිය නැවතත් දකුණු අප්‍රිකාව වෙත ගෙන එමිනි.

----------------------------------------------------------------------------------------------------------------------------

ගප්ටිල් - විලියම්සන් ඉවසිලිවන්ත පිතිහරඹයක

ඕවර 10 - නවසීලන්තය 1/43  

නවසීලන්ත ඉනිමේ 6 වැනි ඕවරයේදී සිට 10 වැනි ඕවරය දක්වා ඕවර 4 තුළදී ආරක්ෂාකාරී ක්‍රමවේදයක් අනුගමනය කළ මාටින් ගප්ටිල් (නොදැවී 26) සහ නායක කේන් විලියම්සන් (නොදැවී 6) එහිදී ඉතාමත් ඉවසිලිමත් ලෙස පන්දුවට පහරදෙමින් ලකුණු ලබාගත්හ.

කෙසේ වුවත් ලුංගි න්ගිඩි යැවූ 6 වැනි ඕවරයේදී අලංකාර හතරේ පහර 3 ක් සමගින් ලකුණු 13 ක් රැස්කිරීමට ගප්ටිල් සමත් විය.

එහිදී තමා යැවූ 7 වැනි සහ 9 වැනි ඕවර 2 පිළිවෙලින් එක් ලකුණකට සහ ලකුණු 4 කට සීමා කිරීමට කගිසෝ රබාඩා සමත් වූ අතර එම ඕවර දෙකේ පන්දු 12 න් 9 ක්ම පැයට කිලෝ මීටර 140 කට වැඩි වේගයකින් යැවූ පන්දු විය.

----------------------------------------------------------------------------------------------------------------------------

නවසීලන්ත පළමු කඩුල්ල බිඳවැටෙයි

ඕවර 5 - නවසීලන්තය 1/19

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නවසීලන්ත පිතිකරුවන්ට මුල් ඔුවර 5 තුළදී ලබාගත හැකි වූයේ ලකුණු 19 ක් පමණි. එහිදී පැයට කිලෝ මිටර් 148 ක පමණ වේගයකින් පන්දු යැවීමට කගිසෝ රබාඩා සමත් විය.

නවසීලන්ත ඉනිමේ තෙවැනි ඕවර යැවූ රබාඩා එහි පළමු පන්දුවේදී තමා අතටම උඩ පන්දුවක් ලබාගනිමින් පන්දු 5 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 9 ක් ලබා සිටි කොලින් මුන්රෝ පිටියෙන් ඉවත් කළේය.  

----------------------------------------------------------------------------------------------------------------------------

නවසීලන්තයට ලකුණු 242 ක ඉලක්කයක්

ඕවර 49 - දකුණු අප්‍රිකාව 6/241

ඉනිමේ අවසන් ඕවර 4 තුළදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් රැස්කිරීමට දකුණු අපිකානු පිතිකරුවෝ සමත් වූහ.

එහිදී නායක කේන් විලියම්සන්ගේ සහායද ඇතිව 48 වැනි ඕවරයේ තෙවැනි පන්දුවෙන් ඇන්ඩිල් පෙලුක්වායෝ ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ලොකී ෆර්ගියුසන් සමත් විය.

කෙසේ වුවත් පන්දු 64 කදී සිය 5 වැනි එක්දින අර්ධ ශතකය මෙන්ම දෙවැනි ලෝක කුසලාන අර්ධ ශතකයද ලබාගත් රාසි වැන්ඩර් ඩුසේන් නොදැවී ලකුණු 67 ක් ලබා දකුණු අප්‍රිකානු ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

ක්‍රිස් මොරිස් (නොදැවී 6) සමග එක්ව හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග අවසන් ඕවරයේදී ලකුණු 15 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද ඩුසේන් සමත් විය.


----------------------------------------------------------------------------------------------------------------------------

ඩුසේන් - මිලර් ලකුණු රැස්කිරීම වේගවත් කරති

ඕවර 45 - දකුණු අප්‍රිකාව 5/210  

දකුණු අප්‍රිකානු ඉනිමේ 40 වැනි ඕවරයේ සිට 45 වැනි ඕවරය දක්වා ඕවර 5 තුළදී ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කළ රාසි වැන්ඩර් ඩුසේන් (නොදැවී 44) සහ ඬේවිඞ් මිලර් (36) එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 41 ක් රැස්කළහ.  

කෙසේ වුවත් ලොකී ෆර්ගියුසන් යැවූ 45 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී තර්ඞ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි ටේ‍රන්ට් බෝල්ට් අතට උඩ පන්දුවක් දෙමින් මිලර් දැවී ගියේය. දැවීයන විට පන්දු 37 කට මුහුණදී සිටි ඔහු සිය ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත කළේය.

----------------------------------------------------------------------------------------------------------------------------

පිතිකරුවෝ හතරේ පහර නියගයක

ඕවර 40 - දකුණු අප්‍රිකාව 4/169 

නායක ෆෆ් ඩුප්ලෙසිගේ දැවී යෑමෙන් අනතුරුව 40 වැනි ඕවරය දක්වා ක්‍රියාත්මක වූ ඕවර 7 තුළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 32 ක් පමණි. 

එහිදී එක් පන්දුවක් හෝ හතරේ සීමාව පසුකර යැවීමට කඩුල්ලේ රැදී සිටින රාසි වැන්ඩර් ඩුසේන් (නොදැවී 28) සහ ඬේවිඞ් මිලර් (නොදැවී 12) අපොහොසත් වූහ. 

ට්‍රෙන්ට් බෝල්ට් යැවූ 39 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ලබාගත් ලකුණු 2 ත් සමග එක්දින ලකුණු 3000 සීමාව පසුකර යෑමට ඬේවිඞ් මිලර් සමත් විය. ඒ සමගම ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 3000 සීමාව පසුකර ගිය 17 වැනි ක්‍රීඩකයා බවටද පත් විය. 

----------------------------------------------------------------------------------------------------------------------------

හතර වැනි කඩුල්ලත් බිම 

ඕවර 32.3 යි - දකුණු අප්‍රිකාව 4/136

කොලින් මුන්රෝ විසින් රැකගන්නා ලද උඩපන්දුවක් හේතුවෙන් ඒඞ්න් මාක්රම් දැවී යාමත් සමගින් දකුණු අප්‍රිකානු පිලේ 4 වැනි කඩුල්ලත් ඇද වැටිණ. 

නවසීලන්ත පිතිකරු හමුදාවට සටනක් දීමට නම් අඩුතරමේ ලකුණු 270 න් එපිටට සිය ලකුණු සංඛ්‍යාව ගෙන යා යුතු වූවත් මේ වන විට ඔවුන් සතුව ඇත්තේ ඕවර 17 ක් පමණි. 

----------------------------------------------------------------------------------------------------------------------------

 අම්ලා දැවී යයි

ඕවර 27.4 යි - දකුණු අප්‍රිකාව 3/111

අනපේක්‍ෂිත මොහොතක නායක ෆෆ් ඩු’ප්ලෙසි දැවී ගිය නමුත් ඒඞ්න් මාක්රම් සමග එක්වූ හසිම් අම්ලා පරෙස්සම් සහගත ගමනක නිරත වෙමින් දකුණු අප්‍රිකානු ලකුණු සංඛ්‍යාව 100 න් ඔබ්බට රැගෙන ගියේය.

පන්දු 83 කට මුහුණ දුන් අම්ලා ලකුණු 55 ක් ලබා සිටියදී මිචෙල් සෑන්ට්නර්ගේ පන්දුවක් මැද ඉන්න එල්ලයේ වැටී පිත්ත පසුකරමින් පැමිණ පිට ඉන්න මත තිබූ බේලයේ වැදුණේය.

අම්ලා සහ මාක්රම් අතර සම්බන්ධතාව ලකුණු 52 ක් වූ අතර ඒ වෙනුවෙන් ඕවර 13.4 ක් වැයවී තිබිණ.

-------------------------------------------------------------------------------------------------------------------------------

මැතිව් හෙන්රි සාර්ථක පන්දු යැවීමක

ඕවර 10 යි - දකුණු අප්‍රිකාව 1/40

ට්‍රෙන්ට් බෝල්ට්ගේ අත්‍යාලංකාර පන්දුවකින් ක්වින්ටින් ඩි’කොක් දැවී ගිය නමුත් නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර එජ්බැස්ටන්හිදී අද (19 වැනිදා) පැවැත්වෙන තරගයයේදී හසිම් අම්ලා නායක ෆෆ් ඩු’ප්ලෙසි සටන ඉදිරියට ගෙන යති. මෙම පිතිකරුවන් දෙදෙනට තරමක් හිසරදයක් වී ඇති දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක මැතිව් හෙන්රි සිය පළමු ඕවර 5 දී පිතිකරුවන්ට ලබාගැනීමට අවසර දී ඇත්තේ ලකුණු 11 ක් පමණි.
 
පන්දු 23 කින් ලකුණු 33ක් ලබා සිටින අම්ලා අසීරු පන්දු කිහිපයකින්ම ගැලවුණු අතර කිසිදු අපහසුවකින් තොරව පන්දුවට පහර දෙමින් සිටී.

-------------------------------------------------------------------------------------------------------------------------------

ඕවර 5 යි - දකුණු අප්‍රිකාව 1/18

අම්ලා - ඩු’ප්ලෙසි සැලසුම් සහගත ගමන

ට්‍රෙන්ට් බෝල්ට්ගේ අත්‍යාලංකාර පන්දුවකින් ක්වින්ටින් ඩි’කොක් දැවී ගිය නමුත් නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර එජ්බැස්ටන්හිදී අද (19 වැනිදා) පැවැත්වෙන තරගයයේදී හසිම් අම්ලා ලකුණු අතර සිටින බව පෙනේ. පන්දු 13 කින් ලකුණු 11ක් ලබා සිටින අම්ලා අසීරු පන්දු කිහිපයකින්ම ගැලවුණු අතර කිසිදු අපහසුවකින් තොරව පන්දුවට පහර දෙයි. 

අම්ලා ලකුණු සොයා යද්දී නායක ෆෆ් ඩු’ප්ලෙසි සිය ආරම්භක පිතිකරුවාට අවස්ථාව දෙමින් කඩුල්ල රැකගෙන සිටී. නවසීලන්ත පන්දු යවන්නෝ කිසිම ආකාරයක බුරුළක් නොදී පන්දු යවති.

-------------------------------------------------------------------------------------------------------------------------------

බෝල්ට් වැඩ අල්ලයි

ඕවර 2 යි - දකුණු අප්‍රිකාව 1/11

එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ හතරේ සීමාව ආසන්නයේ ඇති තෙතබරිත ස්වභාවය හේතුවෙන් නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයයේ කාසියේ වාසිය උරගා බැලීම පමා වූවද ක්‍රීඩාංගණය පරීක්‍ෂා කළ විනිසුරුවරු දහවල් 12.00 ට තරගය ආරම්භ කිරීමට තීරණය කළහ. මෙය ඕවර 49 තරගයකි. 

තරගය ආරම්භ වී යැවුණු දෙවැනි ඕවරයේදීම ටේ‍රන්ට් බෝල්ට් විසින් ක්වින්ටින් ඩි’කොක්ගේ ඉනිම නිමා කරන ලදි. පා ආවරණයත් පිත්තත් අතරින් රිංගා ගිය පන්දුව ඩි’කොක්ගේ පා ඉන්න උදුරා දැමීය. 

-------------------------------------------------------------------------------------------------------------------------------

නවසීලන්තය පන්දු යැවීම තෝරාගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගය ලෙස නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම
ෆෆ් ඩුප්ලෙසි (නායක), හෂීම් අම්ලා, ක්වින්ටින් ඩි’කොක්, ඒඞ්න් මාක්‍රම්, රාසි වැන්ඩර් ඩුසේන්, ඬේවිඞ් මිලර්, ඇන්ඩිල් පෙලුක්වායෝ, ක්‍රිස් මොරිස්, කගිසෝ රබාඩා, ලුංගි න්ගිඩි සහ ඉම්රාන් තාහිර්

නවසීලන්ත කණ්ඩායම
කේන් විලියම්සන් (නායක), මාටින් ගප්ටිල්, කොලින් මුන්රෝ, රොස් ටේලර්, ටොම් ලේතම්, ජේම්ස් නීෂම්, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම්, මිචෙල් සෑන්ට්නර්, මැතිව් හෙන්රි, ලොකී ෆර්ගියුසන් සහ ටේ‍රන්ට් බෝල්ට්


-------------------------------------------------------------------------------------------------------------------------------

කාසියේ වාසිය උරගා බැලීම පමාවෙයි

පෙරවරු 10.00

 එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ හතරේ සීමාව ආසන්නයේ ඇති තෙතබරිත ස්වභාවය හේතුවෙන් නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයයේ කාසියේ වාසිය උරගා බැලීම පමා වී තිබේ. 

කෙසේ වෙතත් මේ වන විට ක්‍රීඩාංගණයෙන් තණතීරු ආවරණ ඉවත් කර තිබෙන අතර ස්වල්ප වේලාවක් පමා වී තරගය ආරම්භ වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එහෙත් දිනයේ පස්වරුවේදී වර්ෂාවෙන් බාධා ඇතිවිය හැකි බවටද අනාවැකි පළ වී තිබේ. 

---------------------------------------------------------------------------------------------------

අමතක කළ නොහැකි මතක

 පෙරවරු 9.30

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉතාමත් තියුණු තරගයක් විය හැකි නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ආරම්භ වීමට තවත් ඇත්තේ හෝරාවකට ආසන්න කාලයකි. තරගය පැවත්වෙන එජ්බැස්ටන් ක්‍රීඩාංගණයට මේ වන විට දෙපිලම පැමිණ සිටිති.

අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකේදීම පිළිමළුන් පිටුදැකීමේ වටයේදී දකුණු අප්‍රිකානුවන් ඉවතට තල්ලු කර දමන ලද්දේ නවසීලන්ත කණ්ඩායම විසිනි. 2011 ආසියාවේදී පැවැති තරගාවලියේදී දකුණු අප්‍රිකානු පිල ඉවතට තල්ලු කර දමමින් නවසීලන්තය අවසන් පූර්ව වටයට පිවිසි අතර 2015 තරගාවලියේදී අවසන් පූර්ව වටයේදීත් දකුණු අප්‍රිකානුවෝ නවසීලන්තය හමුවේ පරාජය වූහ.

එහෙත් ඒ දෙවතාවේදීම නවසීලන්ත පිලට සිය ඉලක්කය කරා යා නොහැකි විය.

අමතක කළ නොහැකි මෙම මතකයන් දකුණු අපිකානුවන්ගේ මෙන්ම නවසීලන්ත ක්‍රීඩකයන්ගේත් මනස් තුළ පෙරළි කරන්නේ 2015 තරගයට සහභාගි වූ දෙපිලේ ක්‍රීඩකයන් 22 දෙනාගෙන් 12 දෙනකුම අද තරගයට ක්‍රීඩා කරන බැවිනි.

 
 

අදහස් (0)

නවසීලන්තයට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.