Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිමුත් දිගු ගමනකට සැරසෙයි

දිමුත් දිගු ගමනකට සැරසෙයි

දමින්ද විජේසූරිය - 2019 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වර්ෂාවෙන් ඇතිවූ බාධාව නොසලකා හළ ශ්‍රී ලංකා පිතිකරුවෝ නවසීලන්තයට එරෙහිව අද (22 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ මුල් දිනයේ ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 85 ක් ලබා සිටියේය. කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වූ අතර තේ පානයෙන් පසුවද තරගය පැවැතියේ අඩහෝරාවක කාලයක් පමණි.

මන්දාලෝකය හේතුවෙන් පස්වරු 5.02 ට අද දිනයේ ක්‍රීඩාව අතහැර දමන විට නොදැවී ලකුණු 49 ක් ලබා සිටි දිමුත් කරුණාරත්න තවත් දිගු ඉනිමක් සඳහා හොඳ ආරම්භයක් ලබාගෙන සිටියේය. විනාඩි 155 ක් පුරා පන්දු 100 කට මුහුණ දුන් කරුණාරත්නගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත වූයේය.

පැයකට ආසන්න කාලයක් පිටියේ සිටි ළහිරු තිරිමාන්න ලකුණු 2 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් තමන්ගේ හිතුවක්කාර පිතිහරඹය වෙනස් කරගෙන තිබූ ආකාරයක් පෙනෙන්නට තිබිණ. පැයකට වැඩි කාලයක් (විනාඩි 71 ක්) සිය කඩුල්ල ආරක්‍ෂා කරගත් මෙන්ඩිස් පන්දු 70 කට පසුව දැවී ගියේ කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම්ගේ ඉතාම හොඳ පන්දුවකිනි.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ මෙම පිතිකරුවෝ දෙදෙනාම ඉතා පහසුවෙන් පන්දුවට මුහුණ දුන් අතරම තමන් වෙත ලැබෙන හොඳ පන්දු වලින් ආරක්‍ෂා වීමටද සමත් වූහ. එහෙත් පිට ඉන්න එල්ලයේ වැටී ඉවතට දෝලනය වූ ග්‍රැන්ඞ්හෝම්ගේ පන්දුව අවසන් මොහොතේදී මෙන්ඩිස්ගේ පිත්තේ පිටත දාරය සොයාගත් හෙයින් දකුණත් පිතිකරුවාගේ ඉනිම ලකුණු 32 දී නිමා විය.

අද උදෑසන සිට දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය නිශ්චිත වේලාවකින් තොරව කල් දැමිණ.

පෙරවරු 11.15 පමණ පොද  වැස්ස නැවතුණු හෙයින් විනිසුරුවරුන් පැමිණ තණතීරු ආවරණ කිහිපයක් ඉවත් කළද ඒ සමගම වැහි අඳුර නැවතත් ක්‍රීඩාංගණයට ඉහතින් පැමිණි හෙයින් ක්‍රීඩාංගණය වසා දමන ලදි. කෙසේ වෙතත් පෙරවරු 11.45 ට ක්‍රීඩාංගණයේ ආවරණ ඉවත් කරන ලද අතර පස්වරු 1.10 ට කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව පස්වරු 1.40 ට තරගය ආරම්භ කෙරිණ.

පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක්ව සිටින අකිල ධනංජය මෙම තරගය සඳහා තෝරා ගත් 11 දෙනා අතරට ඇතුළත්ව නැත. ඔහුගේ ස්ථානය පිට දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරාට හිමිවී තිබේ. ඒ හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් නැත.

නවසීලන්තයද ඔවුන්ගේ වමත් දඟ පන්දු යවන්නා වන මිචෙල් සෑන්ට්නර් වෙනුවට මඳ වේග පන්දු යවන කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම් මෙම තරගයට කැඳවා තිබිණ.

 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

දිමුත් දිගු ගමනකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.