Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට ගෝල 8-0 ක දැවැන්ත පරාජයක්

දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට ගෝල 8-0 ක දැවැන්ත පරාජයක්

නාමල් පතිරගේ - 2019 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 6කට පසුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු  පිටියේ දරුණුතම  පරාජය උරුම කර දුන් දකුණු කොරියානුවෝ අද (10 වැනිදා) පැවති ලෝක කුසලාන ආසියානු කලාපීය දෙවැනි වටයේ තරගයකදී ගෝල 8-0 ක දැවැන්ත ජයක් ලැබූහ.

දකුණු කොරියාවේ ‘හැවසෙඔන්ග්’ නුවරදී අද පැවැති මෙම තරගයේ පළමු භාගයේදී පමණක් කොරියානුවෝ ගෝල 5 ක් ලබාගත් නමුත් ශ්‍රී ලංකා පිලට තරගය පුරාම එකම ගෝලයක් වත් ලබාගත නොහැකි විය.

වසර 2013 නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවති  සාක් ශූරතා පාපන්දු තරගාවලියේදී මාලදිවයින හමුවේ ගෝල 10-0 කින් පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ලද දරුණුතම පරාජය ‘හැවසෙඔන්ග්’ නුවරදී වාර්තා විය.

තරගයේ 12, 18, 21, 31, 45, 55, 65 හා 77 යන විනාඩිවලදී කොරියානුවෝ ශ්‍රී ලංකා පෙදෙස  පහසුවෙන් ආක්‍රමණය කරමින් ගෝල ලබාගත්හ. එහිදී ෂින් වූක් කිම් ගෝල හතරක්ද හා හෙන්ග් මින් සොග් ගෝල දෙකක්ද වාර්තා කරමින් මෙම තරගයේදී දකුණු කොරියානුවන්ට ඉතා පහසු ජයග්‍රාහී ඉලක්කයකට මාවත විවර කර දුන්නේය.

තරගය පුරා ශ්‍රී ලංකා පිලෙන් ක්‍රීඩකයන් තිදෙනකුගේ ආදේශ කිරීම් සිදුවන අතර ප්‍රතිවාදී කොරියානුවන්ද කි්‍රීඩක ආදේශ කිරීම් තුනක් යොදා ගත්තේය.  

තරගය පුරා ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයෝ දෙදෙනෙක් විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කාඞ්පත ලැබූහ. කොරියානු ක්‍රීඩකයෙක් විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කාඞ්පත ලැබීය. මෙම තරග පරාජයත් සමග ලෝක කුසලාන (2022) ආසියානු කලාප දෙවැනි වටයේ ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් තරග තුනම පරජයට පත්ව තිබේ.

උතුරු කොරියාව (1-0) හා තුර්ක්මේනිස්ථානයට (2-0) කලින් තරග දෙකකදී පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට එරෙහිව  ඒ වනවිට ප්‍රතිවාදීන් ගෝල 11ක් රැස්කර තිබේ. එහෙත් ඔවුන්ට එරෙහිව කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් විය.

 මෙම තරග පරාජයත් සමග ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු රූමි පකිර් අලි මහතාගේ සේවය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය දැඩි අවධානය යොමුකරනු ඇතැයි වාර්තාවේ. +

කෙසේ වුවත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ආසියානු කලාප දෙවැනි වටයේ තවත් තරග හතරක් කලින් මුණගැසුණු ප්‍රතිවාදීන් හමුවේම යෙදී තිබෙන අතර ඒ අනුව ලබන වසරේ මාර්තු 31 වැනිදා කොළඹදී දකුණු කොරියානුවන් යළිත් ශ්‍රී ලංකාවට මුණ ගැසේ.

දකුණු කොරියානුවෝ මෙතෙක් ලෝක කුසලාන ආසියානු තරග වටයේ මුහුණ දුන් තරග දෙකෙන්ම ජයගැනීමට සමත්ව සිටියි. ඒ අනුව ඊයේ වනවිට ලෝක කුසලාන ආසියානු කලාප දෙවැනි වටයේ වැඩිම ප්‍රසාද ලකුණු ගණනක් ලබමින් ඔවුන්  ඉදිරියට පැමිණ සිටියි.

ශ්‍රී ලංකාව ලබන අඟහරුවාදා (15) මෙම තරග වටයේ තවත් තරගයකට ලෙබනනයට එරෙහිව කොළඹ සුගතදාස පිටියේදී මුහුණ දේ.


අදහස් (0)

දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට ගෝල 8-0 ක දැවැන්ත පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.