Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානුවෝ විස්මිත වික්‍රමයක

දකුණු අප්‍රිකානුවෝ විස්මිත වික්‍රමයක

editorial - 2019 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



කාගේත් තේරීම බවට පත්ව සිටි එංගලන්තය අන්ද මන්ද කළ දකුණු අප්‍රිකානුවෝ ජපානයේ යොකොහාමා නුවරදී අද (2 වැනිදා) පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී රග්බි ක්‍රීඩාවේ නිර්මාතෘවරුන් ලකුණු 32-12 කින් පරාජය කරමින් ලෝක කුසලානය දිනාගත්හ. මෙය දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලාන දිනාගත් තුන්වැනි අවස්ථාවයි.

තරගයේ පළමු අර්ධය නිමාවේදී ලකුණු 12-06 කින් ඉදිරියෙන් සිටි දකුණු අප්‍රිකානුවෝ දෙවැනි අර්ධයේදී ඇදහිය නොහැකි වික්‍රමාන්විතයක නිරත වෙමින් ලකුණු 20 ක් සිය කණ්ඩායමට එකතු කළහ. හෙන්රි පොලාර්ඞ් දඬුවම් පහර හයක්ම සාර්ථක කරගත්තාට අමතරව මැකසෝල් මාපිම්පි සහ චෙල්සින් කෝල්බි ලබාගත් උත්සාහක දිනුම් දෙකම ප්‍රවර්ථනය කළේය. පොලාර්ඞ්ගෙන් කණ්ඩායමට එකතු වූ ලකුණු සංඛ්‍යාව 22 කි.

මැකසෝල් මාපිම්පි 66 වැනි විනාඩියේදී ලබාගත් උත්සාහක දිනුම ලෝක කුසලාන අවසන් තරගයකදී දකුණු අප්‍රිකානුවන්ගේ පළමු උත්සාහක දිනුමයි. ආබාධයකින් සුවය ලබා නැවතත් කණ්ඩායමට එක්වූ චෙල්සින් කෝල්බි අනෙක් අන්තයෙන් උත්සාහක දිනුමක් තැබුවේ ජයග්‍රහණය එංගලන්තයෙන් ඈතට ඇදගෙන යමිනි.
 
මේ වන විට තුන් වතාවක් ලෝක කුසලාන අවසන් තරගයට පිවිසි දකුණු අප්‍රිකානුවෝ ඒ තුන් වතාවේදීම ජයග්‍රහණය කර තිබේ. 1995 දී මුල් වරට රග්බි ලෝක කුසලාන දිනාගත් දකුණු අප්‍රිකාව 2007 දීත් වෙබ් එළිස් කුසලානයේ ජයපැන් බීවෝය. එපමණක්ම නොවේ, මූලික වටයේදී තරගයක් පරාජය වූ කණ්ඩායමක් රග්බි ලෝක කුසලානය ජයගත් පළමු අවස්ථාව ලෙසින්ද මෙම අවසන් මහ තරගය ඉතිහාසයට එක්වෙයි.

තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව සහභාගි වූ මුලික තරගයේදී නවසිලන්තය හමුවේ පරාජය විය.
ඉතාමත් අවාසනාවන්ත තරග ප්‍රතිඵල වලින් පිරුණු 2016 වසරෙන් පසුව දකුණු අප්‍රිකාවේ පුහුණුකරු ධූරය බාරගත් රාසි එරැස්මස්ට මෙන්ම දකුණු අප්‍රිකානු රග්බි පිලේ පළමුවැනි කළු ජාතික නායකයා වූ සියා කොලිසිටද මෙය අමරණීය ජයග්‍රහණයකි.

“අපේ රටේ ඕනෑවටත් වඩා ප්‍රශ්න තියෙනවා. ඒත් එකිනෙකාට වෙනස් පසුබිම් වලින් පැමිණි, විවිධ ජනවර්ග වලින් සැදුම්ලත් කණ්ඩායමක් එකමුතු වෙලා මේ අරමුණ කරා යන්න අපට ඕනෑකම තිබුණා”

“මේ ජයග්‍රහණය අපි ලබාගත්තේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් බව මා අවංකවම විශ්වාස කරනවා. ඒ වගේම අපට මොනවා හරි කරන්න උවමනා නම් ඒක කරන්න පුළුවන් කියාත් මා විශ්වාස කරනවා”  යයි සියා කොලිසි පැවසීය.

වසර හතරකට පෙරදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට අත්වූයේ ඛේදජනක පරාජයකි. එදා එංගලන්තය පළමු වටයෙන්ම ඉවතට විසිවී ගියායින් පසු එංගලන්ත රග්බි බලධාරීන් එඩී ජෝන්ස්ට එංගලන්ත පිල පවරා දුන්නේ කිසියම් සාර්ථකත්වයක් අපේක්‍ෂාවෙනි. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය පරාජය කිරීම දක්වාම එඩීගේ එංගලන්ත කොලු රෑන රග්බි පිටියේ හොඳ  දස්කම් පෙන්වූහ.

එහෙත් අවසන් මහ තරග හතරකදී ලැබූ තුන්වැනි වරටත් පරාජය වීම එංගලන්ත පිලට දරාගැනීමට තරම් අසීරු ඉරණමකි. 2007 දී දකුණු අප්‍රිකානු පිල ලකුණු 15-06 කින් එංගලන්ත පිල පරදවමින් ලෝක කුසලාන දිනාගන්නා විට එඩී ජෝන්ස් දකුණු අප්‍රිකානුවන්ගේ උපදේශක පුහුණුකරුවා විය. එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර 2003 දී පැවැති අවසන් මහ තරගයෙන් එංගලන්තය ජයගන්නා විට එඩී ජෝන්ස් අනුශූරතාව හිමිකරගත් ඕස්ටේ්‍රලියානු පිලේ පුහුණුකරුවා විය. වසර 16 කට පසුවද ජෝන්ස් අනුශූරයන්ගේ පිලේම නතර වී තිබේ.

“අපට ඉදිරියට යන්න දුන්නේම නෑ... විශේෂයෙන්ම පළමු විනාඩි 50 දී ඔවුන් තරගයේ ආධිපත්‍යය පතුරුවාගෙන හිටියා.... අද දවසේදී ඔවුන් ඇත්තටම හොඳට ක්‍රීඩා කළා.....රග්බි ක්‍රීඩාවේ විිශිෂ්ටත්වය මේකයි... එක දවසකදී ලෝකයේ හොඳම කණ්ඩායම ඔබ තමයි. ඒත් ඊළඟ දවසේදී තවත් කණ්ඩායමක් ඔබව වට්ටලා දානවා” යයි එඩී ජෝන්ස් පැවසීය.

තරගයේ තුන්වැනි විනාඩියේදී මැකසෝල් මාපිම්පි බිම දමාගැනීමට උත්සාහ කළ එංගලන්තයේ ප්‍රොප් ක්‍රීඩක කයිල් සින්ක්ලර් සහ මාරෝ ඉතෝජේ එකිනො සමග හැපී බිම ඇද වැටුණහ. පසුව 9 වැනි විනාඩියේදී හිමිවූ දඬුවම් පහරකින් ප්‍රයෝජන ගත් දකුණු අප්‍රිකානුවෝ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළහ.

විනාඩි කිහිපයකට පසුව ඔවෙන් ෆැරල් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු සංඛ්‍යාව සමකළ නමුත් දෙපිල කරට කර (3-3) සිටියේ විනාඩි 3 ක් පමණි. හෙන්රි පොලාර්ඞ් තවත් දඬුවම් පහරකින් දකුණු අප්‍රිකානු පිල ඉදිරියට ගෙන ගියේය. 35 වැනි විනාඩියේදී එංගලන්ත නායකයාගේ තවත් දඬුවම් පහරකින් ලකුණු 6-6 ක් ලෙස දෙපිලම සමවූ නමුත් පළමු අර්ධය නිමා වන විට දකුණු අප්‍රිකානුවෝ 12-06 ක් ලෙසින් ඉදිරියෙන් සිටියහ.

ආරම්භයේදීම ලද පසුබෑම එංගලන්තය පසුපසට ඇද දැම්මේය.

දකුණු අප්‍රිකානුවන්ගේ ඉදිරිපෙළ හඳුන්වනු ලබන්නේ ‘බෝම්බ බලකාය’ ලෙසිනි. ඔවුන් ඒ තරමටම ජවසම්පන්න මෙන්ම වේගවත් ක්‍රීඩකයෝ වෙති.

දෙවැනි අර්ධය ආරම්භයේදීම එතෙක් වේලා බංකුවේ සිටි ස්ටීවන් කිට්ස්හොෆ් සහ වින්සන්ට් කොක් පිටියට කැඳවූ පුහුණුකරුවා එයින් අනගි ප්‍රතිඵල ලබාගත්තේය. තමන්ගේ උපායමාර්ග හොඳින් ක්‍රියාත්මක කළ දකුණු අප්‍රිකානුවෝ 18-09 දක්වා ඉදිරියට ගියේ තනිකරම දඬුවම් පහර වල සාර්ථකත්වයෙනි. එහෙත් මැකසෝල් මාපිම්පි සහ කෝල්බි ලබාගත් උත්සාහක දිනුම් දෙකත් සමගින් තරගයේ ස්වරූපය එහෙම පිටින්ම වෙනස් වූයේය.

“අපි බොහෝ වෙලාවට කරන්නේ පසුගිය දේවල නරක පැත්ත ගැන විතරක් බලන එකයි....ඒත් මේ වතාවේදී අපි කළේ වෙන දෙයක්”

“මේ අහපල්ලා....අපි එකතු වෙමු. පුළුවන් තරම් හොඳින් සෙල්ලම් කරමු...අනෙක් දේවල් වෙන්න ඕන විදිහට වෙයි කියලා අපි කතාවුණා.... අපි කළේ එච්චරයි” යයි තරගයෙන් පසුව දකුණු අප්‍රිකානු පුහුණුකරුවා වූ එරැස්මස් පැවසීය.

..


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ විස්මිත වික්‍රමයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.