Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානුවෝ ජපානය හඬවති

දකුණු අප්‍රිකානුවෝ ජපානය හඬවති

editorial - 2019 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව අද (20) පස්වරුවේ සමත් විය. ටෝකියෝහිදී පැවැති සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 26-3 කින් සත්කාරක ජපානය පරාජය කිරීමට සමත් වූහ.

සත්කාරක ජපානය ලැබූ මෙම පරාජයත් සමඟ ජපානයේ ලෝක කුසලාන ගමන නතර විය.

ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ පස්වැනි අවස්ථාව මෙය වේ. 1995, 1999, 2007 සහ 2015 යන තරගාවලි හතරේදී අවසන් පූර්ව වටයට පැමිණි දකුණු අප්‍රිකාව 1995 සහ 2007 යන තරගාවලිවලිදී ශූරයන් බවට ද පත්විය.

දකුණු අප්‍රිකාව පළමු අර්ධය අවසන් වන විට ලකුණු 5-3 ක් ලෙස ලකුණු දෙකකින් පමණක් ඉදිරියෙන් සිටිය ද දෙවැනි අර්ධයේදී සැළසුම්සගතව දඩුවම් පහර ඔස්සේ ලකුණු සංඛ්‍යාව ඉහළ නංවා ගත්තේය.  

තරගයේ සිවුවැනි මිනිත්තුවේදී මාපිම්පි අනගි ලෙස එකතු කළ උත්සාහක දිනුමින් දකුණු අප්‍රිකාව ලකුණු 5-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.  පළමු අර්ධයේ 20 වැනි මිනිත්තුවේදී ස්ක්‍රම් අවස්ථාවේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් නීති විරෝධීව ක්‍රීඩා කළේ යැයි තීරණය කළ ප්‍රධාන විනිසුරු ජපානයට දඩුවම් පහරක් පිරිනැමීය.

ගෝල කණු ඉදිරිපිටම ලැබුණු එම දඩුවම් පහර ටමූරා සාර්ථක කිරීමත් සමඟ ජපානයට ලකුණු තුනක් එකතු විය. ඒ අනුව ලකුණු පුවරුව 5-3 ක් බවට පත්විය.

පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු 20 තුළදී දෙපිලටම ලකුණු රැස්කිරීමට නොහැකි විය. එම කාලය තුළ කණ්ඩායම් දෙකම අවස්ථා කීපයකදීම ගෝල සීමාව අසළට පැමිණිය ද ගෝල සීමාව අක්‍රමණය කිරීමට අපොහොසත් විය.
දෙවැනි අර්ධය ආරම්භ වී සිවුවැනි මිනිත්තුවේදී දකුණු අප්‍රිකාවට ලැබුණු ස්ක්‍රම් දඩුවම් පහර ප්‍රසාද දීමනාවක් බදුවිය. පොලාර්ඞ් එය සාර්ථක කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 8-3 ක් බවට පත්විය.

දකුණු අප්‍රිකාව දෙවැනි අර්ධයේ නවවැනි මිනිත්තුවේදී ජපන් ක්‍රීඩකයන් වරදට පෙළඹවීමේ උපක්‍රමයක් අනුගමනය කරමින් තවත් දඩුවම් පහර අවස්ථාවක් දිනාගත්තේය. පොලාර්ඩ් එය ද සාර්ථක කරමින් තවත් ලකුණු තුනක් දකුණු අප්‍රිකාවට එකතු කළේය. ඒත් සමඟම දකුණු අප්‍රිකාව ලකුණු 11-3 ක් ලෙස ලකුණු පරතරය අටක් බවට පත්කරමිනිමින් යම් සහනයක් ලැබීය.

හෙන්රි පොලාර්ඩ් මෙහිදී දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් දඩුවම් පහරකින් තවත් ලකුණු තුනක් එකතු කළේය. එම ලකුණු තුනත් සමගින් ලකුණු තත්ත්වය 14-3 ක් බවට පත්වෙමින් තරගයේ 64 වැනි මිනිත්තුවේදී ජපානයේ බලාපොරොත්තු මෑත්විය.

දකුණු අප්‍රිකාවට 66 වැනි මිනිත්තුවේදී ඩී. ක්ලර්ක් එකතු කළ උත්සාහක දිනුමට හෙන්රි පොලාර්ඞ් අතිරේක ලකුණු දෙක එකතු කිරීමත් සමඟ දකුණු අප්‍රිකාව ලකුණු 21-3 ක් ලෙස ජපානයට ආසන්නවීමට නොහැකි ලෙස ශක්තිමත් විය.

එම උත්සාහක දිනුමත් සමඟ ජපාන් පිලේ ග්‍රහණයෙන් මිදුණු දකුණු අප්‍රිකාව 70 වැනි මිනිත්තුවේදී තවත් උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය. ඒ අනුව ලකුණු පුවරුව 26-3 ක් බවට පත්විය.
 
එංගලන්තය සහ නවසීලන්තය අතර පළමු අවසන් පූර්ව තරගය ලබන සෙනසුරාදා (26 වැනිදා) ද, වේස්ල් සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය ලබන ඉරිදා (27 වැනිදා) ද, පැවැත්වීමට නියමිතය.   

- 048


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ ජපානය හඬවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.