Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තේරීම් කමිටුව ශ්‍රී ලංකා පිලේ කොන්ද කඩයි

තේරීම් කමිටුව ශ්‍රී ලංකා පිලේ කොන්ද කඩයි

editorial - 2019 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, එංගලන්තයේ ලීඞ්ස් සිට..) 

එංගලන්තයේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඩර්හැම්හිදී පසුගිය සඳුදා කොදෙව් පිලට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල පාසල් කණ්ඩායමකටත් වඩා පහත් තත්ත්වයකට පත්වීමට තේරීම් කමිටුව වගකිව යුතු බවට බොහෝ දෙනකුගෙන් චෝදනා එල්ල වෙමින් තිබේ. ශ්‍රී ලංකා අන්තර් පාසල් වයස 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ප්‍රධාන කණ්ඩායමක් හෝ මෙවැනි තත්ත්වයකට පත්වන්නේ ඉතාමත් කාලාතුරකිනි.

එම කණ්ඩායම්වලට තේරීම් කමිටු සාමාජිකයකු ඇතුළත් කර නොමැති වුවද බොහෝ පුහුණුකරුවන් ඉතාමත් හොඳ සැළැස්මක් ඇතිව තරගවලට පිවිසෙන බව සියලු දෙනා හොඳින් දන්නා කරුණකි.  මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්නට ඕවර සංඛ්‍යාව සම්පූර්ණ කිරීම සඳහා පන්දු යවන්නන් සොයා ගැනීමට නොහැකි වීමෙන් ඔහුට 33 වැනි ඕවරය යැවීමට සිදුවිය. 

දිමුත් මීට පෙර 2013 වසරේ දෙසැම්බර් මස ඩුබායිහිදී පාකිස්තානයට එරෙහිව තරගයකදී තිසර පෙරේරා ආබාධයකට ලක්වූ අවස්ථාවේ ඕවර 1.4 ක් යවා තිබුණි. දිමුත් පසුගිය සඳුදා නැවත එක්දින තරගයකදී වසර හයකට අධික කාලයකට පසුව පන්දු යැවීම කැපී පෙනුණි. 
ආබාධයන් හේතුවෙන් මාස 19 කට එසේ නැත්නම් වසර එකහමාරකට වැඩි කාලයක් එක්දින ජාත්‍යන්තර තරගයකදී පන්දු යවා නොතිබුණු ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු යැවීමට යොදවා ගැනීමෙන් තත්ත්වයේ දරුණු වූ බව පැහැදිළිය. 

“මම දැක්කා දිමුත් පන්දු යවන්න කාවහරි සොයමින් ඉන්නවා. මම දිමුත්ට කිව්වා මම දාලා දෙන්නන් කියලා ඕවර දෙක. මම මාස අටකින් විතර පන්දු යවලා නෑ. පුහුණුවීම්වලත් පන්දු යවලා තිබුණේ නෑ. ඒත් මම කිව්වා ප්‍රශ්නයක් නෑ මම දාලා දෙන්නන් කියලා” යැයි උද්ගත වූ තත්ත්වය පිළිබඳව මැතිව්ස් තරගයෙන් පසුව එසේ විස්තර කළේය. 

මැතිව්ස් ඒ අනුව 48 සහ 50 වැනි ඕවර දෙක යමින් ශ්‍රී ලංකාවට ජය ගෙන ඒම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වාසනාවකි.

ඇන්ජලෝ මැතිව්ස් ඊට පෙර අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරගකදී පන්දු යවා තිබුණේ 2017 වසරේ දෙසැම්බර් මස 17 වැනිදා ඉන්දියාවට එරෙහිව විකාඛාපට්නම්හිදීය. එහිදී මැතිව්ස් ඕවර තුනක් පමණක් යවා තිබුණි.  ඇන්ජලෝ මැතිව්ස් අවසන් වරට අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී පන්දු යවා තිබුණේ පසුගිය වසරේ (2018) දෙසැම්බර් මස 26 වැනිදා ක්‍රයිස්චර්ච්හිදී නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ඕවර හතරක් පමණක් ක්‍රියාත්මක කරමිනි.  

ඉනිමේ 44 වැනි ඕවරය ක්‍රියාත්මක වෙද්දී මැතිව්ස් පන්දු රැකීමෙන් ඉවත්ව හතරේ සීමාව අසළ පන්දු යෑවීම සඳහා අවශ්‍ය ව්‍යායාමවල නිරත වූ ආකාරයෙන් ඔහු පන්දු යෑවීමට සූදානම් වන බව දැකගත හැකිවිය. 

මැතිව්ස් ඒ අවස්ථාවේදී පන්දු යැවීම ප්‍රතික්ෂේප කළේ නම් දිමුත්ට තිබූ එකම විකල්පය ඒ වන විට ප්‍රහාරයකට ලක්ව සිටි දකුණතින් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ යෙදවීම පමණි. එය එසේ වූයේ නම් තරගයේ ප්‍රතිඵලය වෙනස්වීමට විශාල ඉඩක් තිබුණි. 
“නිකොලස් පූරන් හොඳට පන්දුවට පහර දෙමින් සිටියා. පූරන් ඉතිරි ඕවර තුනත් පන්දුවට පහර දුන්නානන් තරගයේ කථාව මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා” යැයි මැතිව්ස් පවා තරගයෙන් පසුව පැවසීය. 

තේරීම් කමිටුව මෙම තරගයේදී වෙනස්කම් තුනක් කරමින් ජෙෆ්රි වැන්ඩසේ, කසුන් රාජිත සහ ළහිරු තිරිමාන්න කැඳවමින් තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් යන පන්දු යවන්නන් තිදෙනාම බංකුවේ වාඩිකර තැබූහ.

ඒ අනුව ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සංඛ්‍යාව පහක් බවට පත්වූ අතර වැන්ඩසේ පන්දු යැවීම ආරම්භ කරමින්ම සීමා ඉරටත් අඩියක් පමණ දුරට යැවූ ‘වයිඞ්’ පන්දුවෙන් ඔහුගේ පන්දු යැවීම පිළිබඳව අවබෝධ කරගත හැකි විය. 

 නිකොලස් පූරන් සහ ෆේබියන් ඇලන් සියලුම පන්දු යවන්නන්ට පහර දෙමින් සිටියදී වැන්ඩසේ කැඳවූයේ නම් ඕවර කීපයක් ඉතිරිව තිබියදී කොදෙව් පිල ජය ලබමින් තරගය අවසන් වීමට වැඩි ඉඩක් තිබුණි. 

දැඩි විවේචන තිබියදී සංචිතයට ඇතුළත් කළ ජෙෆ්රි වැන්ඩසේට ලෝක කුසලාන වාර්තා පොතට ඇතුළත් වීමට තරගයක් ලබාදීමට තේරීම් කමිටුව නොවිසිල්ලෙන් සිටි බව මෙම වෙනසෙන් පැහැදිළිය. මෙම තරගය අවස්ථාවක් කරගනිමින් වැන්ඩසේට අවස්ථාව දෙමින් පන්දු යැවීමේ බලෑනියේ කොන්ද කැඩුවේය.

  වැන්ඩසේගේ හත්වැනි ඕවරය ඉනිමේ 31 වැනි ඕවරය විය. ඒ වන විට පූරන් ප්‍රවේගකාරී පිතිහරඹය දියත් කර නොතිබුණි. නමුත් වැන්ඩසේ ඒ වන විටත් ප්‍රහාරයට ලක්ව ඕවර හතට ලකුණු 50 ක් ලබාදී තිබුණි. 

වැන්ඩසේ පන්දු යවන විට ඩර්හැම් ක්‍රීඩාංගණයට දැඩි හිරු රශ්මිය පතිත වී තිබූ අතර ඒ හේතුවෙන් කාලගුණයේ බලපෑමක් සිදුවූයේ යැයි කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කළ නොහැක. වැන්ඩසේට පාලනයකින් පන්දු යැවීමේ හැකියාවක් නොමැති බව ඔහු ක්‍රියාත්මක කළ ඕවර හත තුළදී නිරතරයෙන් ප්‍රදර්ශනය විය.

නිත්‍ය පන්දු යවන්නන් පස්දෙනාගෙන් මාලිංග, ධනංජය, ඉසුරු සහ රාජිත යන සිවුදෙනා ඕවර 10 බැගින් ක්‍රියාත්මක කරමින් ඕවර 40 ක් සම්පූර්ණ කළහ. වැන්ඩසේගෙන් හිස්වූ ඕවර තුනෙන් දෙකක් මැතිව්ස් ද, ඕවරයක් දිමුත් ද, සම්පූර්ණ කළහ. 

මෙම ලෝක කුසලාන සංචිතයට ලෝක මට්ටමට ගැලපෙන දඟ පන්දු යවන්නකුගේ අඩුවක් තියෙනව බව පෙන්වා දුන්න ද තේරීම් කමිටු සභාපතිවරයාගෙන් එයට පොතක් ලිවිය හැකි පිළිතුරු ලැබිණි. 

වැන්ඩසේගේ පන්දු යැවීම එම අවස්ථාවේදී ඩර්හැම් මාධ්‍ය කුටියේ රැදී සිටි කොදෙව් හිටපු ලෝක පූජිත වේග පන්දු යවන්නකුගේ විමතියට සහ හාස්‍යයට ලක්ව තිබූ ආකාරය දැකගත හැකි විය. 

තේරීම් කමිටුව එකවර වේග පන්දු යවන්නන් දෙදෙනකු ඉවත් කිරීමෙන් තීරණයෙන් මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකාව පන්දු යැවීමෙන් රැකගෙන තිබූ කීර්තිය බිංදුවට දැම්මේය.

අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව පසුගිය අප්‍රේල් මස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමේ සිට සිදුවූයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ශක්තිය දුර්වල කිරීම හෙවත් කොන්ද කඩා දැමීමද ?

ශ්‍රී ලංකා පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වන නවවැනි මෙන්ම අවසන් තරගය ඉන්දියාවට එරෙහිව ලබන සෙනසුරාදා (6 වැනිදා) ලීඞ්ස්හි හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල ලීඞ්ස් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ එම තරගය සඳහා වූ පළමු පුහුණු සැසියට සහභාගි විය. 


අදහස් (0)

තේරීම් කමිටුව ශ්‍රී ලංකා පිලේ කොන්ද කඩයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.