Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇඹුල්දෙණිය සිම්බාබ්වේ පිතිකරුවන් මෙල්ල කරගනී

ඇඹුල්දෙණිය සිම්බාබ්වේ පිතිකරුවන් මෙල්ල කරගනී

editorial - 2020 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සිම්බාබ්වේ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් ලසිත් ඇඹුල්දෙණියගේ ස්ථාවර මෙන්ම අධිෂ්ඨානශීලී පන්දු යැවීම හේතුවෙන් හරාරේ නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සත්කාරක කණ්ඩායමේ කඩුලු හයක් ලකුණු 81 ක් තුළදී බිම දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

කෙසේ වෙතත් අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු 30 ක අඛණ්ඩ සම්බන්ධතාව හේතුවෙන් තරගයේ දෙවැනි දිනය වූ අද (20 වැනිදා) සිම්බාබ්වේ කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 358 ක් ලබාගත්තේය.

දෙවැනි දිනයේ සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 42 ක් ලබා සිටියේය. නායක දිමුත් කරුණාරත්න (නොදැවී 12) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 6) දිනය අවසන් වන විට පිටියේ රැඳී සිටියහ.

කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 189 ක් ලබා සිටිමින් දෙවැනි දිනයේ ක්‍රීඩාව ආරම්භ කළ සිම්බාබ්වේ පිතිකරුවෝ දිවා ආහාරයට පෙර කඩුලු 3 කට 247 ක් දක්වා තම ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගියහ. මෙම අවස්ථාවේදී පන්දු යවමින් සිටි ඇඹුල්දෙණියගේ පන්දුවක් ඉහළින් පැමිණ තණතීරුවේ පතිත වී කඩුලු රකන්නාගේ අත් ආවරණ වෙත ගියේ ෂෝන් විලියම්ස්ගේ පිත්තේ පිටත දාරයේත් යන්තමින් ගෑවීගෙනය. එයින් පන්දු 5 කට පසුව ඒ වන විට ලකුණු 85 ක් ලබා සිටි ක්‍රෙග් අර්වින් කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුකර ගැනීමට සුරංග ලක්මාල් සමත් වූ හෙයින් තණතීරුවේ අන්ත දෙකෙහිම අලුත් පිතිකරුවෝ එක්වුහ.  

එතැන් සිට තරගයේ ග්‍රහණය දැඩිකළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කිසිවකුට ස්ථාවර වීමේ අවස්ථාවක් නොදුන්හ.

පළමු දිනයේ නතර කළ තැනින් ඔබ්බට තම පිල කැඳවාගෙන ගිය බ්‍රෙන්ඩන් ටේලර් සහ ක්‍රෙග් අර්වින් එක්ව ලකුණු 247 ක් දක්වා තම පිල ඉදිරියට ගෙන ගියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රවේසමෙන් මුහුණ දෙමිනි. ක්‍රෙග් අර්වින් හයේ පහර 3 ක් ගැසූ නමුත් තමන් මුහුණ දුන් පන්දු 187 ට ඇතුළත් කළේ හතරේ පහර 5 ක් පමණි.

කෙසේ වෙතත් පසුපෙළ පිතිකරුවන් වූ සිකන්දර් රාසා සහ ඩොනල්ඩ් ටිරිපානෝ ලකුණු 40 ක් බැගින් රැස්කිරීමට සමත්වීම හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ලකුණු 300 කඩයිම පසුකර ගියහ.

..


අදහස් (1)

ඇඹුල්දෙණිය සිම්බාබ්වේ පිතිකරුවන් මෙල්ල කරගනී
  • Kaveesh dinithya Thursday, 23 January 2020 02:52 AM

    සුභ පැතුම් ශ්‍රී ලංකා !

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.