Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අශාන් රිම් එකෙන් යද්දී උෂාන් ශූරතාව ඩැහැගනී

අශාන් රිම් එකෙන් යද්දී උෂාන් ශූරතාව ඩැහැගනී

editorial - 2019 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


(ශානුක අරවින්ද උඩවලව සිට...)

 
සෙවනගල ‘කාෆ්ට්ස්මන් ඔටෝඩ්‍රෝම්’ යුද හමුදා ධාවන පථයේදී පැවැති ‘වලව සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට උෂාන් පෙරේරා සමත් විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය සමග එක්ව නමවැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා තරගකරුවන් 150 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

තරගාවලියේ ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ පළමු අදියරේ තෙවැනි ස්ථානයට පත්වූ උෂාන් පෙරේරා එහි දෙවැනි අදියර ජයගනිමින් මෙවර තරගාවලියේ දක්ෂතම රියැදුරා බවට පත් විය. පළමු අදියරේදී අශාන් සිල්වාට සහ කපිල නිෂාන්තට පසුපසින් තරගය නිමා කළ උෂාන්, දෙවැනි අදියර ජයගැනීමට සමත් වූයේ කපිල නිෂාන්ත සමග කළ කර කර තරගයකින් අනතුරුවය.
ඉතාමත් දක්ෂ ලෙස එම ඉසව්වේ පළමු අදියර ජයගැනීමට අශාන් සිල්වා සමත් වූ නමුත් දෙවැනි අදියරේදී සිය මෝටර් රථයේ ඉදිරි පස ටයරයක් ගැළවී යෑම නිසා ඔහු අනතුරකට ලක්විය. අනතුරේදී අශාන්ගේ මෝටර් රථය උඩු යටිකුරු අතට පෙරළුණ අතර මෝටර් රථයෙන් ඉවතට පැමිණි ඔහු, පැති විනිසුරුවරුන්ගේ (කෝනර් මාෂල්වරුන්ගේ) සහායද ඇතිව සිය රථය නැවතත් යතා තත්වයට ගෙන නරඹනන්ගේ ප්‍රීති ඝෝෂා මැදින් ටයරයක් නොමැතිවම (රිම් එකෙන්) තරග නිමාව කරා ගමන් කළේය.

දක්ෂතම රියදුරු-උෂාන් පෙරේරා

දක්ෂතම මෝටර් රථ කණ්ඩායම-සියැට් (උෂාන් පෙරේරා,මාලික කුරුවිටආරච්චි)

දක්ෂතම නැගී එන රියදුරු -කේසර ගොඩගේ

කලකට පසු දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ කපිල නිෂාන්ත අදියර දෙකේම දෙවැනි ස්ථාන හිමිකර ගනිමින් උෂාන් සමග සම ලකුණු ලබාගත්තද, දෙවැනි තරගයේදී උෂාන්ට පසුපසින් සිටීම නිසා ඔහුට තරගාවලියේ දක්ෂතම රියැදුරා බවට පත්වීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය. පළමු අදියරේ දෙවැනි ස්ථානයේ ගමන් කරමින් සිටියදී සිය රථය කාර්මික දෝෂයකට ලක්වීම නිසා ප්‍රභල ක්‍රීඩක කුෂාන් පීරිස්ට එම අදියර නිමා කිරීමට නොහැකි වූ අතර දෙවැනි අදියරට සහභාගි වීමටද නොහැකි විය.

උෂාන් පෙරේරා සහ මාලික කුරුවිටාරච්චි නියෝජනය කළ ‘සියැට්’ කණ්ඩායම තරගාවලියේ මෝටර් රථ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට සමත් වෙද්දී, මෝටර් රථ කාණ්ඩයේ නැගීඑන ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගනු ලැබුවේ ලාබාල ක්‍රීඩක කේසර ගොඩගේ විසිනි. එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය ජයගත් කේසර, ඉන් නොනැවතී එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේ දෙවැනි ස්ථානයටද පත්වෙමින් තරගාවලියේ නැගී එන රියැදුරා සම්මානයට හිමිකම් කීවේය.

තවත් ලාබාල තරගකරුවකු වන ෂෙනාල් ගුණවර්ධන දැඩි වර්ෂාව මධ්‍යයේ එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගැනීමට සමත් වූයේ ප්‍රවීණ ක්‍රීඩකයන් වන නිෂාන්ත සේනාධීර සහ උපුල්වන් සේරසිංහ එහි දෙවැනි සහ තෙවැනි ස්ථානවලට ඇද දමමිනි. එම ඉසව්වේදී තෙවැනි ස්ථානයට පත් වුවද, කළකට පසු එස්.එල්.එන්. කාණ්ඩයේම (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේ ජයග්‍රාහකයා බවට පත්වීමට වීමට උපුල්වන්ට හැකි විය.

මිට්සුබිෂී පෙජරෝ වර්ගයේ ජීප් රථයක් භාවිතා කරමින් ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ ඩීසල් මෝටර් රථ තරගය ජයගත් බුද්ධික රුක්ලන්ත, එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගයේ දෙවැනි ස්ථානයද හිමිකර ගනිමින් දස්කම් දැක්වීය. සුබාරු ලෙගාසි මෝටර් රථ තරගයේදී ඔහු දෙවැනි වූයේ එහි ජයග්‍රාහකයා වූ මාලික කුරුවිටාරච්චිට පමණි.
 
සෙසු මෝටර් රථ ඉසව් වූ එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගයෙන් ඉම්රාස් ෆයිරෝස්ද, එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ තරගයෙන් චාමික රණතුංගද, එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ තරගයෙන් චාමික රණතුංගද ජය ලැබූහ.

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය යටතේ පැවැති මෙම තරගාවලිය යතුරුපැදි ඉසව් 12 කින් සහ මෝටර් රථ ඉසව් 12 කින් සමන්විත විය. එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කෝස්වේ පේන්ට්ස් සමාගම කටයුතු කළ අතර අෂෝක් ලේලන්ඞ් සමාගම එහි සම අනුග්‍රාහකත්වය දැරීය.

තරග ප්‍රතිඵල
එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) සාමන්‍ය මෝටර් රථ තරගය
1 කේසර ගොඩගේ (නිසාන් මාර්ච් 1000)
2 නිරෝෂ් ජීවන්ත (නිසාන් මාර්ච් 1000)
3 එම්.එම්.ඒ. ජයන්ත (නිසාන් මාර්ච් 1000)
 
එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 ඉම්රාස් ෆයිරෝස් (ඔස්ටින් මිනි 998)
2 නාමල් සිල්වා (ඔස්ටින් මිනි 998)
3 ඩබ්ලිව්.එම්.එස්. තිසේරා (ඔස්ටින් මිනි 998)
 
එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ තරගය
1 චාමික රණතුංග (නිසාන් මාර්ච් 1000)
2 ඩබ්ලිව්.එම්.එස්. තිසේරා (ඔස්ටින් මිනි 1000)
3 ඩිලංක විජේසූරිය (නිසාන් මාර්ච් 1000)

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ තරගය
1 කුෂාන් පෙරේරා (මිනි 1275)
2 නිෂාන්ත ද අල්විල් (මිනි 1275)
3 සුරංජන් චාබරේ (මිනි 1275)

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 ශාමල් වෑගොඩපොල (ෆෝඞ් ලේසර් 1300)
2 කේසර ගොඩගේ (ෆෝඞ් ලේසර් 1300)
3 සී. පල්ලියගුරු (ෆෝඞ් ලේසර් 1300)

එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 මිහාන් පීරිස් (ෆෝඞ් ලේසර් 1300)
3 ඉමේෂ් සිල්වා (ෆෝඞ් ලේසර් 1300)

එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 ෂෙනාල් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
2 නිෂාන්ත සේනාධීර (ෆෝඞ් ලේසර් 1300)
3 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1600 දක්වා) හොණ්ඩා මෝටර් රථ තරගය
1 ඉර්ෆාන් ෆෝඞ් (හොණ්ඩා සිවික් 1600)
2 උපුල්වන් සේරසිංහ (හොණ්ඩා සිවික් 1600)
3 සාකිර් වහබ් (හොණ්ඩා සිවික් 1600)

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2000)
2 බුද්ධික රුක්ලන්ත (සුබාරු ලෙගාසි 2000)
3 අසංක බණ්ඩාර (සුබාරු ලෙගාසි 2000)
 
ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ (සි.ධා. 5500 දක්වා) ඩීසල් මෝටර් රථ තරගය
1 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිෂී පෙජරෝ 2800)
2 දුමින්ද ජයසිංහ (ටොයොටා ලෑන්ඞ්කෘසර් 3000)
3 ඩබ්ලිව්.ඒ.එල්. නාරද (මිට්සුබිෂී පෙජරෝ 2800)
 
එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) පළමු මොටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 කපිල නිෂාන්ත (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) දෙවැනි මොටර් රථ තරගය
1 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 කපිල නිෂාන්ත (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ගාමිණී නෙල්සන් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

 


අදහස් (0)

අශාන් රිම් එකෙන් යද්දී උෂාන් ශූරතාව ඩැහැගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.