Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අබීඩ් අලි - බාබර් අසාම් ශතක ලබති

අබීඩ් අලි - බාබර් අසාම් ශතක ලබති

editorial - 2019 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තවත් තරගයක් වූ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති පළමු වැනි ටෙස්ට් තරගය අද (15 වැනිදා) පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවරදී ජය පරාජයෙන් තොරව නිමා විය. වසර 2009 න් පසුව පාකිස්තානයේදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගය මෙයයි.

පිතිකරුවන්ගේ දක්‍ෂතා ඉස්මතු වූ මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ ධනංජය ද සිල්වා මෙන්ම පාකිස්තානයේ අබීඩ් අලී සහ බාබර් අසාම් ද ශතක ලබාගත්හ.

පාකිස්තානු ආරම්භක පිතිකරු අබීඞ් අලි සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව සිය පළමු ටෙස්ට් තරග වලට සහභාගි වෙමින් ශතක ලබාගත් පාකිස්තානු පිතිකරුවන් වන සලීම් මලික් (නොදැවී 100), යුනිස් ඛාන් (107) සහ ෆවාඩ් අලාම් (168) අනුගමනය කරමිනි. ටෙස්ට් සහ එක්දින තරග යන ක්ෂේත්‍ර දෙකේදීම සිය මංගල තරග වලදී ශතක ලබාගත් එකම පිතිකරුවා ලෙසින්ද අබීඩ් අලි ක්‍රිකට් වාර්තා පොතට එක්විය.

දිගින් දිගටම වර්ෂාවෙන් බාධා ඇතිවූ මෙම තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් උචිත කාලගුණයක් පැවැති නමුත් දිනය ආරම්භ වූයේ ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම හෝ අවසන් නොවූ තත්ත්වයක් තිබියදීය.

ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් ලබා සිය ඉනිම අත්හිටුවීය. තරගයේ විසඳුමක් පෙනෙන තෙක් මානයේ නොවූ හෙයින් අද පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 252 ක් ලබා සිටියේය.

අසාර් අලී සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අබීඩ් අලී, පසුව නායක අසාර් අලි සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 162 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවමින් තරගය හමාර කළහ.

පාකිස්තානු ඉනිම අතරමැදදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න, සිය පිතිකරුවන් දෙදෙනකු වූ ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා පන්දු යැවීමට කැඳවූයේ තණතීරුවෙන් පන්දු යවන්නන්ට එතරම් සහයෝගයක් නොලැබුණු බැවිනි. එහෙත් එයින් සිදුවූයේ කුසල් මෙන්ඩිස්ගේ ඕවරයේදී ලකුණු 14 ක් ලබාගැනීමට පාකිස්තානු පිතිකරුවන් සමත් වීමයි.

තරගයේ දින 4 ක් පුරා කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් පිටියේ රැඳුණු ධනංජය ද සිල්වා අද පෙරවරුවේදී තම හයවැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය. මොහොමඞ් අබ්බාස්ගේ පන්දුවක් එක්ස්ට්‍රා කවර් කලාපය හරහා හතරේ සීමාවට යැවූ ධනංජය සිය 15 වැනි හතරේ පහරත් ඉනිමට ඇතුළත් කරමින් ශතකය සම්පූර්ණ කළේය. ශතක 6 ක් ලබා සිටින ධනංජය තවමත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 28 කට පමණි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 16 වැනිදා කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතය.

..


අදහස් (0)

අබීඩ් අලි - බාබර් අසාම් ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.