Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ හිමිකර ගනිති

රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ හිමිකර ගනිති

editorial - 2019 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල් පිටියේදී ඊයේ (සෙනසුරාදා) පැවැති තරගයේදී ලකුණු 24-13 ක විශිෂ්ට ජයක් වාර්තා කළ ත්‍රිත්ව ක්‍රීඩකයෝ බ්‍රැඩ්බි පළිහ තරගාවලියේ දෙවැනි අදියරේ තරගය පහසුවෙන්ම ජයගත්හ. එහෙත් කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගයේ සම්ප්‍රදාය අනුව, අනුයාත තරග දෙකකදී ලබාගන්නා ලකුණු එකතුව මත, කොළඹ රාජකීය විදුහල විසින් බ්‍රැඞ්බි පළිහ දිනාගන්නා ලදි.

මහනුවරදී සහ කොළඹදී පැවැති තරග දෙකේ එකතුව අනුව ලකුණු 47 - 41 කින් බ්‍රැඞ්බි පළිහ රාජකීය පිලට හිමිවිය.

දෙවැනි අදියර ආරම්භ වන විටත් රාජකීයයෝ ලකුණු 17 කින් ඉදිරියෙන් සිටියහ. තරගය ආරම්භ වී මඳ වේලාවකින් රාජකීය පිල වෙත ලැබුණු දඬුවම් පහර දුලාන් ගුණවර්ධන විසින් සාර්ථක කරගන්නා ලද හෙයින් රාජකීයයෝ 03-00 ක් ලෙසින් ඉදිරියට ගියහ.

ත්‍රිත්ව පිලේ වේගවත්ම විඟර් ක්‍රීඩකයා වන අමිත් කුලතුංග පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ඉෂංක අබේකෝන් මහතා පියවර ගත් නමුත් දිරේන්ද්‍ර රත්වත්ත විසින් තබන ලද උත්සාහක දිනුමට මලිඳු ජයසුන්දර අතිරේක ලකුණු එකතු කළ හෙයින් 03-07 ක් ලෙසින් ත්‍රිත්ව සිංහයෝ ඉදිරියට පැනගත්හ.

තරගයේ විවේක කාලයට පොරතුව උත්සාහක දිනුමක් ලබාගැනීමට මලිඳු ජයසුන්දර සමත්වීමත් සමගින් විවේක කාලයේදී 12 -03 ක් ලෙසින් ත්‍රිත්ව සිංහයෝ ඉදිරියෙන් සිටියහ.

තරගය ආරම්භ වීමටත් පෙර සිටම තමන් සතුව තිබූ වාසිය නිසා සැහැල්ලුවෙන් ක්‍රීඩා කළ රාජකීය ක්‍රීඩකයෝ අපේක්‍ෂා කළාට වඩා පසුපසට ඇද වැටුණහ. එහෙත් ත්‍රිත්ව පිල කොළඹ පැමිණියේ පරාජය වන්නට නොවේ. විවේක කාලය අවසන් වී ස්වල්ප වේලාවකින් ලෙනොක්ස් කල්‍යාණරත්න ලබාගත් උත්සාහක දිනුමක් හේතුවෙන් ත්‍රිත්ව ක්‍රීඩකයෝ 17 - 03 ක් ලෙසින් ඉදිරියට ගියහ.

ත්‍රිත්ව පිලේ තවත් ක්‍රීඩකයකුට කහ කාඩ්පතින් අවවාද කිරීමෙන් පසුව පිටියෙන් පිටමං කරන ලදි. එහෙත් රෝලිං මෝල් අවස්ථාවකින් පන්දුව ලබාගත් රජිඳු ජයසූරිය රාජකීය පිල වෙනුවෙන් උත්සාහක දිනුමක් තබමින් ලකුණු පුවරුව 17-08 ක් ලෙස වෙනස් කළේය.

රජිඳුගේ දෙවැනි උත්සාහක දිනුමෙන් රාජකීය පිල ලකුණු 13 ක් දක්වා ඉදිරියට ගියද ඒ වන විටත් ත්‍රිත්ව පිල ලකුණු 17-13 ක් ලෙසින් ඉදිරියේම විය. කුජන කුලතුංගගේ තවත් උත්සාහක දිනුමක් හේතුවෙන් ත්‍රිත්ව පිල ලකුණු 22-13 ක් ලෙසින් ඉදිරියෙන් විය. මිරංග සුබසිංහගෙන් ලැබුණු අතිරේක ලකුණුත් එකතු වූ හෙයින් තරගය නිමා වන විට ත්‍රිත්ව පිලට 24-13 ක ජයක් අත්වී තිබිණ.

තරග තීරක : ඉෂංක අබේකෝන් මහතා

..

- 100


අදහස් (0)

රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ හිමිකර ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.