Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක

පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක

Nisanka Sandeepani - 2018 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණ ලැබීමට නම් පිතිකරු ලැයිස්තුව ස්ථිර එකක් වියයුතු වගේම පළමු ඕවර දහයේදී කඩුලු ලබානොදිය යුතු බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (16) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. 

එංගලන්ත පිලට එරෙහිව තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (17) දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

දඹුල්ලේදී පසුගිය සෙනසුරාදා පැවැති දෙවැනි තරගයෙන් එංගලන්තය ලකුණු 31 ක ජයක් ලබමින් තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණේ සිටියි. ශ්‍රී ලංකාව තරගාවලි ජයග්‍රහණයක් පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අද තරගය ජය ලැබීම වඩාත් ප්‍රයෝජනවත් වේ.

පාදයේ ආබාධයකට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරා හෙට තරගයට සහභාගි නොවන බව කළමනාකරු චරිත් සේනානායක මහතා පැවසීය. කුසල්ගේ ස්ථානයට හෙට  තරගයේදී සදීර සමරවික්‍රම ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. 

ශ්‍රී ලංකා පිලේ අවසන් පුහුණු සැසිය ඊයේ පෙරවරුවේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඉන් පසුව මාධ්‍ය හමුවට දසුන් ශානක සහභාගි විය.  

ශ්‍රී ලංකා පිලේ පිතිකරු ලැයිස්තුව නිරන්තරයෙන් වෙනස් කිරීම පිළිබඳව කළ විමසුමේදී දසුන් මෙසේ පැවසීය. 

“මම හිතනවා පිතිකරු ලැයිස්තුව ස්ථිර එකක් වුණා නම් හොඳයි කියලා. චන්දි අයියා (දිනේෂ් චන්දිමාල්) සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙම තරගාවලියේ සිට ස්ථිර පිතිකරු ලැයිස්තුවක් ඉදිරියට ගෙන ඒමට සාකච්ඡා කරලා තියෙනවා. මම හිතනවා ඒක වඩාත් වැඳගත් වෙයි කියලා”

“මම හිතනවා කණ්ඩායමේ ලොකු වෙනස් කරන්න ඕනෙ නෑ. පසුගිය කාළේ අපි තරග ජය ලැබුවේ පළමු ඕවර 10 යේදී කඩුලු දෙකකට හෝ තුනකට අඩුවෙන් වැටුණොත් තමයි. මම හිතන්නේ පළමු ඕවර 10 යේදී කඩුල්ලක් නොදී ලකුණු 40 ක් පමණ රැස්කරන්න පු`ඵවන්නම් අපිට ඉලක්කයට යන්න පු`ඵවන්. අපේ ඉදිරි පෙළ කඩුලු ඉක්මනින් වැටෙන එක අඩු කරගත යුතුයි”
දසුන් පෙර තරගයේදී අංක 5 ස්ථානයේ පළමු වරට පන්දුවට පහරදීම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. 

“මම පිතිකරු ලැයිස්තුවේ උඩට ආවේ කණ්ඩායමේ අවශ්‍යතාව මතයි. කණ්ඩායමේ අවශ්‍යතාව මත ඉදිරි පෙළට පැමිණ පන්දුවට පහර දෙන්න මෙම සූදානම්”

“මම පසුගිය දේශීය සිවුදින, එක්දින සහ විස්සයි20 යන තරගාවලිවල දස්කම් අතරට පැමිණියා. මම හිතන්නේ වැඩියෙන් මම කඩුල්ලේ රැදී සිටීම තමයි කණ්ඩායම බලාපොරොත්තු වෙන්නේ. මම කඩුල්ලේ රැදී සිටිය හොත් ලකුණු එනවා කියලා කණ්ඩායම හිතනවා”
“ලොකු පීඩනයක් නෑ. ජාත්‍යන්තර තරගයකදී හොඳ පන්දු යවන්නන් බලාපොරොත්තු වෙනවා. පළමු පන්දු 15 හෝ 20 පන්දුවට පහර දීම තමයි මගේ ඉලක්කය”

“මගෙන් කණ්ඩායම බලාපොරොත්තු වෙන්නේ දිගු ඉනිමක්. පළමු පන්දු 20 මගේ විදියට පන්දුවට පහර දෙන්න කිව්වා. ඊට පසුව ඉදිරියට යන්න කියලා තමයි මට පුහුණුකරු උපදෙස් දුන්නේ”

දකුණතින් වේග පන්දු යවන්නකු වන දසුන් පසුගිය තරගවලදී පන්දු නොයැවීම පිළිබඳව කළ විමසුමේදී මෙසේ අදහස් දැක්වීය. 
“මම සෑම පුහුණු සැසියකදීම පන්දු යැවීමේ පුහුණුවීම්වල නිරත වෙනවා. ප්‍රධානම පන්දු යවන්නන් ලෙස දඟ පන්දු යවන අකිල ධනංජය සහ ලක්‍ෂාන් සඳකැන් ක්‍රීඩා කරනවා. අපි පන්දු යවන්නන් පස්දෙනකුගෙන් තමයි ප්‍රධාන වශයෙන් ක්‍රීඩා කරන්නේ. නමුත් ධනංජය ද සිල්වා සහ මා සෑම විටම පන්දු යවන්න සූදානමින් ඉන්නේ”

“අපේ රටින් පිටතදී අපිට වේග පන්දු යවන්නන් ඕනේ. ඒ නිසා වේග පන්දු යවන්නකු ලෙස මම පන්දු යැවීමට සූදානමින් ඉන්නවා”
එංගලන්ත පිලේ ලියම් ඩව්සන් ආබාධයකට ලක්වීම නිසා ඊයේ රාත්‍රී නැවත එංගලන්තය බලා පිටත්ව ගිය අතර තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ජෝ ඩෙන්ලි සංචිතයට එකතු වීමට නියමිතව තිබුණි. 

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ පෙරවරුවේ ආරම්භ වූ ශ්‍රී ලංකා පිලේ පුහුණු සැසිය අවසන් වීමෙන් පසුව එනම් පස්වරු 12.30 ට පමණ වර්ෂාව ඇඳ හැලුණු අතර එහිදී ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කළේය.

එංගලන්ත පිල ඊයේ පස්වරුවේ පුහුණු සැසියකට සහභාගි වීමට නියමිතව තිබුණ ද වර්ෂාව හේතුවෙන් එය අතහැර දැමීමට සිදුවිය.  

ශ්‍රී ලංකා එක්දින සංචිතය:
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, සදීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අමිල අපෝන්සු, ලක්‍ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප් සහ කසුන් රාජිත

එංගලන්ත එක්දින සංචිතය:
ඔයින් මෝගන් (නායක), මොයින් අලී, ජොනී බෙයාස්ටෝ, ජෝස් බට්ලර්, සෑම් කරන්, ටොම් කරන්, ඇලෙක්ස් හේල්ස්, අදිල් රෂීඞ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටොක්ස්, ඔලි ස්ටොන්, ක්‍රිස් වෝක්ස් සහ මාක් වුඞ්

 

 


අදහස් (1)

පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.