Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානයට ලකුණු 49 ක ජයක්

පාකිස්තානයට ලකුණු 49 ක ජයක්

editorial - 2019 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - රොෂාන් ගුණරත්න)

ඕවර 50 කදී - දකුණු අප්‍රිකාව 259/9
(කුයින්ටන් ඩි‘කොක් 47, ෆෆ් ඩුප්ලෙසීස් 63, රාසී වැන්ඩර්සන් 36, ඬේවිඞ් මිලර් 31, ඇන්ඩිල් පෙලුක්වායෝ නොදැවී 46, වහබ් රියාස් 46/3, ශදාබ් ඛාන් 50/3, මොහොමඞ් අමීර් 49/2)

තරගය ජයගැනීමත් සමගින් පාකිස්තානයට තවදුරටත් තරගාවලියේ රැඳී සිටිමේ අවස්ථාව හිමිවූ අතර දකුණු අප්‍රිකානුවන්ගේ දොරටු වැසී ගියේය.

අවසන් මොහොතේ වේගවත් පිතිහරඹයක නිරතවූ ඇන්ඩිල් පෙලුක්වායෝ පන්දු 32 කදී හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැස්කළද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

හැරිස් සොහෙල් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.

--------------------------------------------------------------------------------------------------------------------------------

වැන්ඩසන්- මිලර් සම්බන්ධතාවය බිඳවැටෙයි

ඕවර 40 කදී - දකුණු අප්‍රිකාව 189/5
(ඩේවිඩ් මිලර් නොදැවී 30, ඇන්ඩිල් පෙලුක්වායෝ නොදැවී 0)

ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානුවන්ට පන්දු 60 කදී තවත් ලකුණු 120 ක් අවශ්‍යව ඇති අතර කඩුලු 5 ක් ඉතිරිව ඇත.

පස්වැනි කඩුල්ල සඳහා රාසී වැන්ඩර්සන් සහ ඬේවිඞ් මිලර් එක්ව පන්දු 61 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. ලකුණු 36 ක් රැස්කර සිටියදී ශදාබ් ඛාන්ගේ පන්දුවකට ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව මොහොමඞ් හෆීස් විසින් රැකගැනීමත් සමගින් රාසී වැන්ඩර්සන්ගේ ඉනිම අවසන් විය. පන්දු 47 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

--------------------------------------------------------------------------------------------------------------------------------

ඩුප්ලෙසීස් ලකුණු 63 කට දැවී යයි

ඕවර 30 කදී - දකුණු අප්‍රිකාව 138/4
(රසී වැන්ඩසන් නොදැවී 17, ඬේවිඞ් මිලර් නොදැවී 1)

කඩුලු 2 ක් අහිමිකරගත් දකුණු අප්‍රිකානුවන්ට අවසන් ඕවර 10 තුලදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 46 ක් පමණි. ඉතිරි ඕවර 20 තුලදී ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 171 ක් රැස්කිරීමට දකුණු අප්‍රිකානුවන්ට සිදුවනු ඇත.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල ලෙස නායක ෆෆ් ඩුප්ලෙසීස් ලකුණු 63 කට දවාගැනීමට මොහොමඞ් අමීර් සමත්විය. කඩුලු රකින්නාට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු79 කට මුහුණදී සිටි ඩුප්ලෙසීස් හතරේ පහර 5 ක් සිය ඉනිමට එක්කරගෙන සිටියේය.

පන්දු 66 කදී හතරේ පහර 4 ක් සමගින් මෙවර තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය ලබාගැනීමට ෆෆ් ඩුප්ලෙසීස් සමත්විය.

ශදාබ් ඛාන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඒඞ්න් මාක්‍රම් ලකුණු 7 කට දැවී ගියේය. ඒ වනවිට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 103 ක් ලෙස සටහන් විය.

--------------------------------------------------------------------------------------------------------------------------------

ඩි‘කොක් - ඩුප්ලෙසීස් දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනගති

ඕවර 20 කදී - දකුණු අප්‍රිකාව 92/2
(ෆෆ් ඩුප්ලෙසීස් නොදැවී 41, ඒඞ්න් මාක්‍රම් නොදැවී 1)

උඩපන්දුව අතහරිමින් වහබ් රියාස් ලබාදුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කුයින්ටන් ඩි‘කොක්ව ලකුණු 47 කට දවාගැනීමට ශදාබ් ඛාන් සමත්විය. පන්දු 60 කට මුහුණදුන් ඩි‘කොක්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

වහබ් රියාස් යවන ලද 19 වැනි ඕවරයේදී ඩි‘කොක් ගැසු හයේ පහර සහ හතරේ පහරත් සමගින් ලකුණු 13 ක් ලබාගැනීමට පිතිකරුවෝ සමත්වූ අතර ඕවර 20 තුලදී පාකිස්තානු පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 10 ට වැඩියෙන් ලබාගත් පළමු අවස්ථාව ලෙස සටහන් විය.

පළමු ඕවර 10 තුලදී ලකුණු 38 කට කඩුල්ලක් දවාගනිමින් දකුණු අප්‍රිකානුවන් පීඩනයට පත්කිරීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත්වුවද එම පීඩනයෙන් තරමක් දුරට මිදුණු පිතිකරුවෝ අවසන් ඕවර 10 තුලදී එක් කඩුල්ලක් පමණක් අහිමිකර ගනිමින් ලකුණු 54 ක් එක්කර ගැනීමට සමත්වූහ.

--------------------------------------------------------------------------------------------------------------------------------

පිතිකරුවන්ට දැඩි පීඩනයක්

ඕවර 10 කදී - දකුණු අප්‍රිකාව 38/1
(කුයින්ටන් ඩි‘කොක් නොදැවී 11, ෆෆ් ඩුප්ලෙසීස් නොදැවී 24)

මෙවර තරගාවලිය පුරාම වැඩි සාර්ථකත්වයක් පෙන්වීමට අපොහොසත්වූ හසීම් අම්ලාව තමන් යවන ලද පළමු පන්දුවෙන්ම පිටියෙන් ඉවත් කිරීමට මොහොමඞ් අමීර් සමත්විය. තරග 6 කට සහභාගිවී ඇති අම්ලා ලබාගෙන ඇත්තේ ලකුණු 123 ක් පමණි.

දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට එරෙහිව ආරම්භයේ සිටම දඟපන්දුව යොදා ගැනීමට පාකිස්තානු නායකයා ගත් තීරණය නිවැරදී යැයි සනාථ කරමින් මොහොමඞ් හෆීස් යවන ලද පළමු ඕවරයේ දෙවැනි පන්දුවේදී කුයින්ටන් ඩි‘කොක් දවාගැනීමට අවස්ථාවක් හිමිවුවද වහබ් රියාස් අතින් උඩපන්දුවක් ගිලිහි ගියේය.

--------------------------------------------------------------------------------------------------------------------------------

දකුණු අප්‍රිකාවට ලකුණු 309 ක ඉලක්කයක්

ඕවර 50 කදී - පාකිස්තානය 308/7
(ඉමාම් උල් හක් 44, ෆකාර් සමාන් 44, බාබර් අසාම් 69, මොහොමඞ් හෆීස් 20, හරිස් සොහෙල් 89, ඉමාඞ් වසීම් 23, ලුන්ගි න්ගිඩි 64/3, ඉම්රාන් තාහීර් 41/2)

අද තරගය දකුණු අප්‍රිකානුවන්ට සුවිශේෂී තරගයක් වන අතර යම් හෙයකින් ඔවුන් මෙම තරගය පැරදුනහොත් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑමේ අවසන් බලාපොරොත්තුවද අහිමිකරගත් දෙවැනි කණ්ඩායම බවට පත්වන්නේය. මේ වන විටත් ඇෆ්ඝනිස්තානය අවසන් පූර්ව වටයට යෑමේ බලාපොරොත්තු අහිමිකරගෙන ඇත.

ලෝක කුසලාන තරගාවලියකදී දකුණු අප්‍රිකානු කණ්ඩායම හඹාගොස් තරගයක් ජයගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 297 කි. 2011 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව මෙම දස්කම කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය.

දකුණූ අප්‍රිකානු පන්දු යවන්නන්ට එරෙහිව පිතිකරුවන්ගේ අනුකම්පා විරහිත ප්‍රහාරය හමුවේ අවසන් ඕවර 10 තුළදී කඩුලු 4 ක් අහිමිකර ගනිමින් ලකුණු 91 ක් රැස්කරගත් පාකිස්තානය ලකුණු 300 සීමාව පසුකිරීමට සමත්විය.

ශොයිබ් මලික් වෙනුවට කණ්ඩායමට එක්වූ හැරිස් සොහෙල් ලද අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගනිමින් පන්දු 59 කදී ලකුණු 89 ක් රැස්කිරීමට සමත්විය. ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.

බාබර් අසාම් සමගින් සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 81 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ හැරිස් සොහෙල් ඉන් නොනැවතී පස්වැනි කඩුල්ල සඳහාද තවත් ලකුණු 71 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

--------------------------------------------------------------------------------------------------------------------------------

අනුකම්පා විරහිත ප්‍රහාරයකට සැරසෙති

ඕවර 40 කදී  - පාකිස්තානය 217/3

අවසන් ඕවර කිහිපය සඳහා තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගත් නමුත් ලකුණු වේගය 5 කට වැඩියෙන් තබාගත් පාකිස්තානුවෝ අවශ්‍ය තරමට පීඩනය දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් වෙත එල්ල කළහ. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ඒ වන විටත් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනංවා තිබූ බාබර් අසාම් සහ හැරිස් සොහේල් අනුකම්පා විරහිත ප්‍රහාරයකට පදනම දමමින් සිටියහ.

--------------------------------------------------------------------------------------------------------------------------------

තාහීර් අතහැරුණු උඩපන්දුවේ වාඩුව ගනී

ඕවර 20 කදී - පාකිස්තානය 97/1
(ඉමාම් උල් හක් නොදැවී 44, බාබර් අසාම් නොදැවී 07)

ඕවර 14.5 - ඉම්රාන් තාහීර්ගේ පන්දුකට ස්කූප් පහරක් ගැසීමට යාමේදී එකතැන ඉහළ නැගි පන්දුව හසීම් අම්ලා විසින් රැකගැනීමත් සමගින් ෆකාර් සමාන්ගේ ඉනිම ලකුණු 44 කට අවසන් විය. පන්දු 50 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

සාර්ථක ආරම්භයක් ලබාගත් ෆකාර් සමාන් සහ ඉමාම් උල් හක් පළමු කඩුල්ල සඳහා පන්දු 89 කදී ලකුණු 81 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

ඕවර 11.2 - ක්‍රිස් මොරිස් යවන ලද කෙටි පන්දුවකට ෆකාර් සමාන් ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව හතරේ සීමාව ආසන්නයේදී ඉම්රාන් තහීර් විසින් දක්ෂ ලෙස රැකගත්තද පුණරූපන නැරඹූ තෙවැනි විනිසුරු පන්දුව බිම පතිතවන බව තීරණය කළේය.

--------------------------------------------------------------------------------------------------------------------------------

පාකිස්තානයෙන් සාර්ථක ආරම්භයක්

ඕවර 10 කදී - පාකිස්තානය 58/0

(ෆකාර් සමාන් නොදැවී 27, ඉමාම් උල් හක් නොදැවී 30) 

මුල් ඕවර 10 තුලදී ලකුණු 58 ක් රැස්කළ පාකිස්තානුවෝ කඩුල්ලක් ලබානොදීමට වගබලා ගත්හ. ලුන්ගි න්ගිඩි යවන ලද ඕවර 3 තුලදී ලකුණු 25 ක් ලබාගනිමින් ඔහුව පීඩනයට ලක්කිරීමට ෆකාර් සමාන් සහ ඉමාම් උල් හක් සමත්වූහ.

කගීසෝ රබාඩා විසින් යවන ලද 6 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ඉමාම් උල් හක් කඩුල්ල මුවා කළේ යැයි පන්දු රකින්නෝ ප්‍රබල ඉල්ලීමක් කළද විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රත්ක්‍ෂේප කළේය. විනිසුරු විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමට දකුණු අප්‍රිකානු නායකයාට අවස්ථාව තිබූවද ඔහු දි් පිළිබඳව කැමැත්තක් නොදැක්වීය.

--------------------------------------------------------------------------------------------------------------------------------

පාකිස්තානය පළමුව පන්දුවට පහර දෙයි 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර ලෝඞ්ස්හිදී අද (23 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක සර්ෆ්‍රාස් අහ්මඞ් පළමුව පන්දුවට පහරදීම තීරණය කළේය.

අවසන් තරගයට ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායමම අද තරගයට සහභාගීවන අතර පාකිස්තානු කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකරමින් ෂොයිබ් මලික් සහ හසන් අලී වෙනුවට හැරිස් සොහෙල් සහ ශහීන් අෆ්රිඩි කණ්ඩායම කැදවූහ.

දකුණු අප්‍රිකානු කණ්ඩායම
හසීම් අම්ලා, කුයින්ටන් ඩි’කොක්, ඒඞ්න් මාක්‍රම්, ෆෆ් ඩුප්ලෙසීස් (නායක), රාසී වෑන්ඩසන්, ඬේවිඞ් මිලර්, ඇන්ඩිල් පෙලුක්වායෝ, ක්‍රිස් මොරිස්, කගීසෝ රබාඩා, ලුන්ගි න්ගිඩි, ඉම්රාන් තහීර්

පාකිස්තානු කණ්ඩායම
ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, බාබර් අසාම්, මොහොමඞ් හෆීස්, හැරිස් සොහෙල්, සර්ෆ්‍රාස් අහ්මඞ් (නායක), ඉමාඞ් වසීම්, ශදාබ් ඛාන්, වහබ් රියාස්, මොහොමඞ් අමීර්, ශහීන් අෆ්රිඩි.


අදහස් (0)

පාකිස්තානයට ලකුණු 49 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.