Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කමාන්ඩෝ සුපර් ක්‍රොස් 2021 තරගාවලිය අතහැර දමයි

කමාන්ඩෝ සුපර් ක්‍රොස් 2021 තරගාවලිය අතහැර දමයි

ශානුක අරවින්ද - 2021 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකාවේ සුපර් ක්‍රොස් තරගාවලි අතර ප්‍රධාන පෙලේ තරගාවලියක් වන කමාන්ඩෝ සුපර් ක්‍රොස් තරගාවලිය මේ වසරේ (2021) මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනයෙන් ඉවත් කිරීමට මෝටර් රථ ක්‍රීඩා ජාතික සංගමයට (ස්ලාස්) සිදුව තිබේ. ඊට හේතුවී ඇත්තේ මේ වසරේදී එය සංවිධානය කිරීමෙන් වැලකී සිටීමට තරගාවලියේ සංවිධායකයන් වන ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව තීරණය කිරීමයි.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්) සමග එක්ව ඌව, කුඩාඔය පිහිටි සිය පුහුණු පාසල් භූමියේ ඉදිකරන ලද නව ධාවන පථයක 2016 වසරේදී කමාන්ඩෝ රෙජිමේන්තුව පළමු වරට මෙම තරගාවලිය පැවැත්වීය. ඉන් අනතුරුව 2019 වසර දක්වා පිට පිට වසර 4 ක් කමාන්ඩෝ සුපර් ක්‍රෙස් තරගාවලිය පැවැති අතර ඉකුත් වසරේදී (2020) කොරෝනා වසංගතය හේතුවෙන් මෙම තරගාවලියද ඇතුළුව සියලුම සුපර්ක්‍රොස් තරගාවලි නොපැවැත්විණ.

අවසන් වරට පැවැති කමාන්ඩෝ සුපර්ක්‍රොස් තරගාවලි දෙකකදීම දක්ෂතම රියැදුරා ලෙස සම්මාන ලැබීමට අශාන් සිල්වා (2018 සහ 2019) සමත් විය. 2016 වසරේදී පැවැති සමාරම්භක තරගාවලියේදී උෂාන් පෙරේරාද, 2017 වසරේදී පැවැති දෙවැනි තරගාවලියේදී කුෂාන් පීරිස්ද දක්ෂතම රියැදුරා ලෙස සම්මාන ලැබූහ.

එම තරගාවලි හතරේදී දක්ෂතම යතුරුපැදිකරුවාට හිමිවන ශූරතාව ක්‍රීඩකයන් සිවුදෙනෙක් අතරේ බෙදී ගියේය. 2016 වසරේදී ඉවෝන් බී. ගුරුසිංහද, 2017 වසරේදී ඉෂාන් දසනායකද, 2018 වසරේදි ගයාන් සඳරුවන්ද, 2019 වසරේදී ජාක් ගුණවර්ධනද ඊට හිමිකම් කීහ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ධාවන පථ අතරින් වේගවත්ම ධාවන පථයක් ලෙස සැලකෙන කමාන්ඩෝ ධාවන පථය, මෝටර් රථ තරගකරුවන්ට නැවුම් අත්දැකීමක් එක් කරන අතිරේක වටයකින්ද (ජාත්‍යන්තර තරග බිමේදී මෙය ‘ජෝකර් ලැප්’ ලෙස හඳුන්වයි) සමන්විත වේ. මෙම තරගාවලියේදී එම අතිරේක වටය හඳුන්වනු ලබන්නේ ‘කමාන්ඩෝ වටය’ යනුවෙනි.

කමාන්ඩෝ සුපර් ක්‍රෙස් තරගාවලිය මේ වසරේදී නොපැවැත්වීම සම්බන්ධයෙන් මෝටර් රථ සහ යතුරුපැදිකරුවන් රැසක් මහත් කනස්සල්ලෙන් පසුවන අතර ඒ සම්බන්ධයෙන් ඔවුහු විවිධ මත දරති. සමාරම්භක කමාන්ඩෝ සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරු ලෙස සම්මාන ලැබූ ඉවෝන් බී. ගුරුසිංහ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“කමාන්ඩෝ ධාවන පථය තමයි ලංකාවේ තියෙන වේගවත්ම ධාවන පථය විදියට මම දකින්නෙ. අපිට බයික් එකේ උපරිම ජවය යොදවලා පදින්න පුලුවන් තරගාවලියක් එකක් තමා ඒක. එකෙ සමහර වංගු තියෙනවා අපිට වේගය අඩාල නොකරම ගන්න පුලුවන් ඒවා. තරගයක් පටන් ගන්නකොට පිටිපස්සෙන්ම හිටපු කෙනෙකුට වුණත් හඹාගෙන ගිහින් දින්නන පුලුවන් ජාතියෙ ධාවන පථයක් තමා කමාන්ඩෝ ධාවන පථය. ඉතින් ඒ වගේ ධාවන පථයක තියෙන තරගාවලියක් නැතිවෙන එක අපිට ලොකු පාඩුවක්.”

සමාරම්භක කමාන්ඩෝ සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම රියැදුරා බවට පත්වූ කුෂාන් පීරිස් ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසකි. “තරගාවලියක් අඩුවෙන ඒක ලොකුවටම දැනෙන්නෙ තරගකරුවන්ට. විශේෂයෙන්ම ජාතික ශූරතාවලියට අදාල තරගාවලියක් නැතිවෙන එක ලොකු පාඩුවක්. කමාන්ඩෝ තරගාවලිය ගැන කියනවා නම් ඒක අනිත් තරගාවලිවලට වඩා විශේෂයි. ජෝකර් ලැප් කියන කන්සෙප්ට් එක ලංකාවට හඳුන්වලා දුන්නෙ ඒ තරගාවලියෙන්. අපි හුඟක් ආසාවෙන් කමාන්ඩෝ තරගාවලියට සහභාගි වෙන්නෙ. ඒ නිසා කොහොම හරි මේ වසරෙදිත් තරගාවලිය පවත්වන්න පුලුවන් නම් හොඳයි කියලා මම හිතනවා” යැයි ඔහු කීය.

“කොරෝනා නිසා සමහර විට තරගාවලියේ සංවිධායකයන්ට අනුග්‍රාහකයන් හොයා ගැනීමේ ගැටලු ඇති කියල මම හිතනවා. නැත්නම් ඒ වගේ තරගාවලියක් එක පාරටම නතර කරන්නෙ නෑ. දුෂ්කර පළාතක තියෙන තරගාවලියක් නිසා ඒකට ලොකු වියදමක් යනවා. ඒ වියදම් පියවගන්න අනුග්‍රාහකයෝ නැතුව බැහැ. ඒ නිසා මම හිතනවා මේ අවුරුද්දෙ නැතත් ලබන අවුරුද්දෙදි නැවතත් ඔවුන් කමාන්ඩෝ තරගාවලිය පවත්වයි කියලා.” යැයි හිටපු ජාතික යතුරුපැදි ශූරයකු වන ගයාන් සඳරුවන් පැවසීය.

තරගාවලිය නොපැවැත්වීම සම්බන්ධයෙන් කළ විමසුමකදී එහි සංවිධාන කටයුතු මෙහෙයවන ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ හා යතුරපැදිකරුවන්ගේ සංගමයේ නියෝජිතයකු කියා සිටියේ මේ වන විටත් තරගාවලිය පැවැත්වීම හෝ නොවැපැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණ නොමැති බවය. තම සංගමය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව අතර යුද හමුදා මෝටර් ක්‍රීඩා සමාජය හරහා දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙන බවද, ඇතැම් විට ඉදිරියේදී මෙම තරගාවලිය වසරේ මෝටර් රථ ක්‍රීඩා දින දර්ශනයට ඇතුළත්වීමට ඉඩ ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 


අදහස් (0)

කමාන්ඩෝ සුපර් ක්‍රොස් 2021 තරගාවලිය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.