Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කණ්ඩායම තේරීම දැන් හිසරදයක් වෙලා

කණ්ඩායම තේරීම දැන් හිසරදයක් වෙලා

යොහාන් භාසුර - 2019 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී දස්කම් ප්‍රධාන නිර්ණායක බවට පත්වන බව ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා අද (10) පස්වරුවේ පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී පැවැති විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස ජය ලබා නැවත ඊයේ පැමිණි අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අසන්ත මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.    

“මෙම සංචාරයේ සාර්ථකත්වයත් සමඟ කණ්ඩායම තේරීම හිසරදයක් බවට පත්ව තිබෙනවා. පිතිකරු ලැයිස්තුවේ හය දෙනා තෝරාගන්න ක්‍රීඩකයන් විශාල පිරිසක් ඉන්නවා”

“භානුක රාජපක්‍ෂ තරග දෙකේදී හයේ පහර අටක් වාර්තා කළා. තරුණ ක්‍රීඩකයන්ට මේ අවස්ථාව ලැබීම ගැන ඇත්තෙන්ම මම සතුටු වෙනවා. කණ්ඩායම තේරීමේදී දස්කම් තමයි අවදානයට යොමු කරන්නේ”
“මෙම සංචාරයේදී මිනෝද භානුක, භානුක රාජපක්‍ෂ සහ ඕෂද ප්‍රනාන්දු තිදෙනාට අවස්ථාව ලැබීම වඩාත් වැඳගත්. මිනෝද් භානුකව මම දැක්කෙත් මෙම තරගාවලියේදීයි”

“මම ලෝක කුසලාන තරගාවලිය අවසානයේදීත් කිව්වේ පසු පෙළ ශක්තිමත් කරන්න ඕන කියලයි. දැන් අපේ පසු පෙළ ශක්තිමත් වෙලා තියෙනවා. අපි අවසන් විස්සයි20 තරගයේදී ප්‍රධාන ක්‍රීඩකයන් පහක් එළියෙන් තියලයි ක්‍රීඩා කළේ. සම්පූර්ණයෙන්ම වගේ කණ්ඩායම වෙනස් කළා. ඒත් අපි ජය ලැබුවා”

“අපේ කණ්ඩායමේ පන්දු යැවීම ද ඉතාමත් හොඳ තත්ත්වයක තිබුණා. මේ කාලය තුළ වඩාත් වර්ධනයක් පෙන්නුම් කළ ක්‍රීඩකයා හැටියට වනිඳු හදුන්වන්න පුළුවන්” යැයි අසන්ත මහතා වැඩි දුරටත් පැවසීය.

විස්සයි20 නායක දසුන් ශානක පැවසුවේ මෙම තරගාවලියේදී තමන්ට පීඩනයක් නොතිබුණු තරම් බවයි.
“ඇත්තටම කිව්වොත් මට විශාල අභියෝගයක් දැනුනේ නෑ. මට තේරීම් කමිටු ප්‍රධානී අසන්ත මහතාගෙන්, ඒ වගේම පුහුණුකරු රුමේෂ් සහ ජෙරම් යන මහත්වරුන්ගෙන් සෑම විටම උපදෙස් ලැබුණා”

“මම මේ ක්‍රීඩකයන් සමඟ කාලයක් ක්‍රීඩා කරලා ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව අවබෝදයකින් හිටියා. ඒ නිසා ඒවා මොන අවස්ථාවේදී යොදා ගන්නේ කියලා මම දැනගෙන හිටියා. තෙවැනි තරගයෙන් ජය ලැබීමෙන් පසුව මට හිතුනේ මට පීඩනයක් තිබුණේම නෑ වගේ”

“මම වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක් හැටියටයි කණ්ඩායමට ආවේ නමුත් කාලයක් යන විට ඕනෑම කෙනෙක් පරිනත වෙනවා. මම හිතන්නේ මේ තරගාවලියේදී මගේ සාර්ථකත්වයට ඒ පරිනථ බව පෙන්නුවා කියලයි”

 

“අසන්ත සර් මට මගේ භූමිකාව පිළිබඳව අවබෝදයක් ලබාදුන්නා. එයත් මගේ පිතිකරණයේ වෙනසට හේතු වුණා” යැයි දසුන් වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ විස්සයි20 ලීග් තරගාවලියක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

“විස්සයි20 ලීග් තරගාවලියක් පැවැත්වීමට අපි මේ වන විට කටයුතු කරමින් ඉන්නවා. එස්.එල්.පී.එල්. තරගාවලිය එක්වරක් පමණක් පැවැත්වුණා. ලීග් තරගාවලිවලදී තරග පාවාදීම් සිදුවෙනවා. ලීග් තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය නිසා අනිවාර්යෙන්ම ආරම්භ කරනවා”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ මෙවැනි තරගාවලියක් ලැබීම පිළිබඳව සතුටු වන බවයි. එහිදී මොහාන් මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.  

“පාකිස්තානය තරගාවලියකට සහභාගි වීමට සුදුසු යැයි මම ප්‍රකාශ කරනවා. මෙම තරගාවලිය අපිට ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැටියට පාකිස්තානු ක්‍රිකට් ආයතනයට ස්තූතිය පළ කරනවා”

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී ජෙරම් ජයරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු සහ පාකිස්තානු සංචාරයට සහභාගි වූ එක්දින පිලේ නායක ළහිරු තිරිමාන්න මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.


අදහස් (0)

කණ්ඩායම තේරීම දැන් හිසරදයක් වෙලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.