Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගජබා - විජයබා තරග බිමෙන් ඩකා රැළියට

ගජබා - විජයබා තරග බිමෙන් ඩකා රැළියට

ශානුක අරවින්ද - 2019 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටී.වී.එස්. සමාගම නියෝජනය කරමින් ලබන වසරේදී (2020) පැවැත්වෙන ඩකා රැළියට එක්වන ‘ෂර්කෝ ටී.වී.එස්. රැළි ෆැක්ටරි’ කණ්ඩායමට හරිත් නෝවා ඇතුළත්ව සිටී. හරිත් නෝවා ඩකා රැළියට සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

හරිත් නෝවා හත්වරක් ඉන්දීයාවේ ජාතික මොටෝ ක්‍රොස් ශූරතාව දිනූ ක්‍රීඩකයෙකි. අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ තරග සංචාරවල නිරතව ඇති ඔහු විජයබා සුපර් ක්‍රොස්, ගජබා සුපර් ක්‍රොස් සහ ගනර් සුපර් ක්‍රොස් වැනි තරගාවලි වලටද සහභාගි වී තිබේ. 2016 වසරේ සිටම ‘ෂර්කෝ ටී.වී.එස්. රැළි ෆැක්ටරි’ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකුව සිටි කේ.පී. අරවින්ද්ට පුහුණුවීම් අතරතුර හටගෙන ඇති පාදයේ ආබාධයක් හේතුවෙන් මෙවර ඩකා රැළියට සහභාගි වීමේ අවස්ථාව මඟහැරී ගොස් තිබේ.

මෙවර ඩකා රැළියේදී ඔහුගේ ස්ථානය හරිත් නෝවාට හිමිව තිබේ. පිට පිටම වසර තුනක් ඩකා රැළියට සහභාගි වී ඇති අරවින්ද්, අවසන් වරට (2019) සහභාගි වූ ඩකා රැළියේදී 37 වැනියා ලෙසින් තරගය නිමා කළේය. එවර ඩකා රැළිය නිමා කළ එකම ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වූයේද ඔහුය. අරවින්ද් ශ්‍රී ලංකාවේදී පැවැති සුපර් ක්‍රොස් තරගාවලි කිහිපයකම දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසද සම්මාන දිනාගෙන තිබේ.

‘ෂර්කෝ ටී.වී.එස්. රැළි ෆැක්ටරි’ කණ්ඩායම ඉන්දියාවේ ගෝවේහිදී පැවැති ටී.වී.එස්. ‘මොටෝ සෝල්’ ප්‍රදර්ශනයේදී එලිදැක්විණ. ලොව දැවැන්තම මෝටර් රථ සහ යතුරුපැදි රැළියක් ලෙස හැදින්වෙන ඩකා රැළියේ 42 වැනි තරගමාලාව ලබන වසරේ ජනවාරි මස 5 වැනිදා සිට 17 වැනිදා දක්වා සෞදි ආරාබියේදී පැවැත්වීමට නියමිතය.

‘ෂර්කෝ ටී.වී.එස්. රැළි ෆැක්ටරි’ කණ්ඩායම ප්‍රබල යතුරුපැදිකරුවන් සිවුදෙනකුගෙන් සමන්විත වන අතර ප්‍රංශයේ මයිකල් මෙට්ජ් එහි නායකත්වය දරයි. ස්පාඥ්ඥයේ ලොරෙන්සෝ සැන්ටෝලිනෝ, ප්‍රංශයේ ජොනී ඇබට් සහ ඉන්දියාවේ හරිත් නෝවා කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති. ඩකා රැළියේදී ඔවුන් ටි.වී.එස්. සමාගමේ නිෂ්පාදනයක් වන ඩකා-ස්පෙක් ආර්.ටී.ආර්. 450 යතුරුපැදිය භාවිතා කරමින් තරග වැදීමට නියමිතය.

මෙම වසර (2019) පුරා දස්කම් දැක්වූ ‘ෂර්කෝ ටී.වී.එස්. රැළි ෆැක්ටරි’ කණ්ඩායම මේ දක්වා පැවැති මර්සුගා, ඩෙසට් ස්ට්‍රෝම් සහ බාජා ඇරගන් යන රැළිවලදී ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ. අවසන් වරට පැවැති බාජා ඇරගන් රැළිය ජයගැනීමටද ‘ෂර්කෝ ටී.වී.එස්. රැළි ෆැක්ටරි’ කණ්ඩායම සමත් විය. එම දස්කම් දිගින් දිගටම පවත්වා ගනිමින් ඩකා රැළියද සාර්ථක ලෙස අවසන් කිරීම මේ වන විට ඔවුන්ගේ ප්‍රධානතම අරමුණ බවට පත්ව තිබේ.

‘ෂර්කෝ ටී.වී.එස්. රැළි ෆැක්ටරි’ කණ්ඩායම පිට පිටම ඩකා රැළියකට සහභාගි වන හයවැනි අවස්ථාව මෙය වන අතර එම අවස්ථා හයේදීම ඩකා රැළියට සහභාගි වූ කණ්ඩායම් නායක මයිකල් මෙට්ජ් මෙවරද ඔවුන්ගේ ප්‍රධානම බලාපොරොත්තුව බවට පත්ව තිබේ. ලොරෙන්සෝ සැන්ටෝලිනෝ ඩකා රැළියට සහභාගිවන දෙවැනි අවස්ථාව මෙය වේ. 2018 වසරේ පැවැති ඩකා රැළිය හයවැනියා ලෙස නිමා කළ ජොනී ඇබට්ද මෙවර ‘ෂර්කෝ ටී.වී.එස්. රැළි ෆැක්ටරි’ කණ්ඩායම යටතේ තරග වැදීම එහි ශක්තිය තවත් වැඩි කරනු ඇත.

2020 ඩකා රැළියට සහභාගි වන ‘ෂර්කෝ ටී.වී.එස්. රැළි ෆැක්ටරි’ කණ්ඩායම එළි දැක්වීමට අමතරව ටී.වී.එස්. ‘මොටෝ සෝල්’ ප්‍රදර්ශනයේදී යතුරුපැදි ක්‍රීඩාව සඳහා නව ඇදුම් පැළඳුම් රැසක් වෙළඳ පොළට හදුන්වා දීමටද ටී.වී.එස්. සමාගම පියවර ගත්තේය. යතුරපැදි ක්‍රීඩා, ජවය මැන බැලීමේ ක්‍රීඩා, වීඩියෝ ක්‍රීඩා සහ විනෝද ජනක ක්‍රීඩා රැසක්ද එම ප්‍රදර්ශයේදී පැවැත්විණ.

දින දෙකක් පුරා ගෝවාහිදී පැවැති ටී.වී.එස්. ‘මොටෝ සෝල්’ ප්‍රදර්ශනයට ටී.වී.එස්. ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ, සහකාර සාමාන්‍යාධිකාරී ගීතාල් ඇන්තනී, අළෙවි කලමණාකරු උෂාන් විජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක්වූහ.


‘ෂර්කෝ ටී.වී.එස්. රැළි ෆැක්ටරි’ කණ්ඩායම


අදහස් (0)

ගජබා - විජයබා තරග බිමෙන් ඩකා රැළියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.