Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාසල් ක්‍රීඩා චක්‍රලේඛයට පළාත් නවයේම විරෝධය

පාසල් ක්‍රීඩා චක්‍රලේඛයට පළාත් නවයේම විරෝධය

නාමල් පතිරගේ - 2021 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අනුමත සංශෝධිත පාසල් ක්‍රීඩා ප්‍රවර්ධන චක්‍රලේඛයට (34/2016) පළාත් නවයෙන්ම විරෝධතා ඉදිරිපත්වී ඇතැයි වාර්තාවේ. එහිදී නැගෙන ප්‍රධානතම චෝදනාව වන්නේ දිවයිනේ අධ්‍යාපන කලාප 98 ට අයත් අධ්‍යක්ෂවරුන් හා පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් සමග සංශෝධිත චක්‍රලේඛයට අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමේ දී ඇතිකරගත් බව කියන එකඟතා බිඳ දමමින් එහි නව සංශෝධන අනුමත කිරීමය. කෙටුම්පතකට අදාළ යෝජනාවලිය සාකච්ඡාවට ගැනුණු අවස්ථාවල දී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් සිය යෝජනා හා අදහස් රැසක් ලබා දී තිබේ.

එහිදී සාකච්ඡා වූ පරිදි ඔවුන් පාසල් ක්‍රීඩා ඉසව් ප්‍රවර්ධනය සඳහා ලබාදුන් බව කියන යෝජනා ගණනාවක් සංශෝධිත චක්‍රලේඛනයට ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා ප්‍රධානීන් එකඟ වූ බව වාර්තා වේ.

එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා අනුමැතිය ලබාදීමෙන් පසුව නිකුත් වූ සංශෝධිත පාසල් ක්‍රීඩා ප්‍රවර්ධන චක්‍රලේඛය 34/2016 සිය යෝජනා හා අදහස් සැලකිල්ලට ගෙන නැතැයි චෝදනා කර තිබේ.

මේ සම්බන්ධයෙන් පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් කීප දෙනකුගෙන්ම ‘ලංකාදීප’ය කළ විමසුමක දී පැවසුවේ දේශීය පාසල් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා තමන් ලබා දුන් හිතකර යෝජනා ගණනාවක් චක්‍රලේඛයට ඇතුළත් කරන බවට ලබාදුන් ප්‍රතිඥාව බිඳ වැටී තිබෙන බවයි. ‘‘පාසල් ක්‍රීඩා ඉසව් 26ක් ක්‍රියාත්මක වෙනවා. රටේ ජනප්‍රිය වෙමින් තිබෙන පාසල් ක්‍රීඩා වඩාත් ජනප්‍රිය කරන්නත් ජනප්‍රියත්වයක් නැති ක්‍රීඩා ඉසව් ජනප්‍රිය කරවීමට ගත යුතු ක්‍රියා මාර්ග ගැනත් අප අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවල දී යෝජනවලියක් හැටියට ඉදිරිපත් කළා.

ඉන් තෝරාගත් යෝජනා ගණනාවක් චක්‍රලේඛයට ඇතුළත් කරන්න එකඟ වුණා. නමුත් නිකුත් වුණු සංශෝධිත චක්‍රලේඛයේ ඒවා දකින්නට නෑ’’ යැයි ද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

මේ අතර මලල ක්‍රීඩා ඉසව්ව පාදක කර ගනිමින් ඔවුන් ලබාදුන් බව කියන යෝජනා ගණනාවක්ම චක්‍රලේඛයෙන් හැලී තිබීම ගැනත් ඔවුන්ගේ කනස්සල්ල පළවී තිබේ.

වයස 14න් පහළ, 16න් පහළ හා 18න් පහළ පාසල් සිසු සිසුවියන් සඳහා වඩාත් හිතකර වන පරිදි අලුතින් කෙටි දුර හා දිගු දුර ධාවන ඉසව් කීපයක්ම කෙටුම්පත් කිරීම සඳහා ලබා දුන්නේ මෙරට මලල ක්‍රීඩාවේ අනාගතයට ප්‍රවර්ධනයන් ද ඇති කිරීමට වුවත් මෙම තත්ත්වය මත සිය බලාපොරොත්තු බිඳ වැටී ඇතැයි පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් පවසයි.

මින් පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරයකු පැවසුවේ චක්‍රලේඛයන් විටින් විට වෙනස් කිරීම අනුමත කළ නොහැකි කාරණාවක් වන නමුත් එමගින් සංශෝධන ගෙනෙන අවස්ථාවල දී එහි උපරිම ප්‍රයෝජනය ගෙන රටේ පාසල් ක්‍රීඩාවට වඩාත් හිතකර යෝජනා තහවුරු කළ යුතු බවත්ය.

වාර්තාවන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අනුමත කළ බව සඳහන් සංශෝධිත පාසල් ක්‍රීඩා ප්‍රවර්ධන චක්‍රලේඛය එහි නිල වෙබ් අඩවියට ඇතුළත් කර තිබුණ ද මේ වන විට චක්‍රලේඛයේ තොරතුරු වෙත පිවිසීම අවහිර කර තිබේ.

 


අදහස් (0)

පාසල් ක්‍රීඩා චක්‍රලේඛයට පළාත් නවයේම විරෝධය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.