Last Update  :  2024-04-24 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාක් - විනුෂ්ක සටනේ ජය ජාක්ට

ජාක් - විනුෂ්ක සටනේ ජය ජාක්ට

ශානුක අරවින්ද - 2019 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

වැලිසර, නාවික හමුදා ධාවන පථයේදී නිමාවට පත්වූ ‘කොළඹ සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ජාක් ගුණවර්ධන සමත් වූයේ මේ වසර (2019) තුළදී ඔහු දිනාගත් 5 වැනි යතුරපැදි ශූරතාවටද හිමිකම් කියමිනි.

විනුෂ්ක සිල්වාට පමණක් දෙවැනි වෙමින් එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු අදියර නිමාකළ ජාක් ගුණවර්ධන, දෙවැනි අදියර ජයගත්තේ විනුෂ්ක දෙවැනි ස්ථානයට ඇද දමමිනි. ඒ අනුව ඔවුන් දෙදෙනාම පළමු ස්ථානයක් සහ දෙවැනි ස්ථානයක් බැගින් දිනා, සම ලකුණු ලබාගත්තද දෙවැනි අදියරේදී ඉදිරියෙන් සිටි ක්‍රීඩකයා ලෙස ජාක් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය.

පළමු අදියරේදී දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත් වූ ජාක්, දෙවැනි අදියර ඉතා විශිෂ්ඨ ලෙස ජයගැනීමට සමත් වූයේ සෙසු තරගකරුවන්ට වඩා මීටර 150 ක පමණ පරතරයක් රඳවාගනිමිනි. පළමු අදියරේ තෙවැනියා බවට පත්වූ ඉවෝන් බී. ගුරුසිංහ දෙවැනි අදියරේදී සිවුවැනි ස්ථානය දක්වා පසුපසට තල්ලු කිරීමට එහි තෙවැනි ස්ථානය හිමිකරගත් ලාබාල ක්‍රීඩක ඩී.එම්.ඩී. කල්හාර සමත් විය.

එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි ඉසව්වද අදියර දෙකකින් සමන්විත වූ අතර ඉවෝන් බී. ගුරුසිංහ සමග කළ කරට කර තරගයකින් අනතුරුව එහි පළමු අදියර ජයගැනීමට ළහිරු ජීවන්ත සමත් විය. සිය යතුරුපැදිය කාර්මික දෝෂයකට ලක්වීම නිසා පළමු අදියරේදී සාර්ථක ආරම්භයක් ලබාගැනීමට නොහැකි වූ ශානුක සඳරුවන්, එම වැරදි මඟහරවා ගනිමින් දෙවැනි අදියරේ ජය තමන් සතුකර ගත්තේය.

එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් යතුරුපැදි (සි.ධා. 250 සිට 750 දක්වා) ඉසව්වේ අදියර දෙක පුරා දේෂාන් සොලංකි සහ ඉමාල් මංචනායක අතර තියුණු තරගයක් දැකගත හැකි විය. පළමු අදියරේ ජයග්‍රාහකයා වූ දේෂාන් දෙවැනි අදියරේ දෙවැනියා බවටද, දෙවැනි අදියරේ ජයග්‍රාහකයා වූ ඉමාල් පළමු අදියරේ දෙවැනියා බවටද පත් වූහ.

වයස අවුරුදු 12 න් පහළ ළමුන් සඳහා පැවැති ජේ. එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 65 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්ව මෙන්ම ජේ. එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වද ජයගනිමින් ද්විත්ව ජයග්‍රහණයක් වාර්තා කිරීමට දිනෙත් මිහිරංග සමත් විය. ජේ. එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 5 සිට 10 දක්වා) තරගයෙන් ශකීබ් අහමඞ්ද, ජේ. එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 15 න් පහළ) තරගයෙන් තාරුක රුමීෂද ජය ලැබූහ.

ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සහ නුවර එළිය මෝටර් රථ සමාජයේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව තෙවැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා සහභාගි විය.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හච් සමාගම කටයුතු කළ අතර ප්ලැටිනම් අනුග්‍රාහකයන් ලෙස සියැට්, හොණ්ඩා සහ කේ.ටී.එම්. යන සමාගම් කටයුතු කළහ. ඩීමෝ, අබාන්ස් යන සමාගම් සහ ලංකා බැංකුව සම අනුග්‍රාහකයන් ලෙසද, ෂෙල් ගෑස් සමාගම සහ කෝස්වේ පේන්ට්ස් සමාගම සෙසු අනුග්‍රාහකයන් ලෙසද තරගාවලියට එක්ව සිටියහ.


තරග ප්‍රතිඵල
ජේ. එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 5 සිට 10 දක්වා)
1 ශකීබ් අහමඞ් (යමහා පී.ඩබ්ලිව්. 50)
2 එන්.කේ. ඉමාෂ (යමහා පී.ඩබ්ලිව්. 50)
3 හිමාෂ පාදුක්ක (යමහා පී.ඩබ්ලිව්. 50)


ජේ. එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 65 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 9 සිට 12 දක්වා)
1 දිනෙත් මිහිරංග (යමහා වයි.ඉසෙඞ්. 65)
2 රිවිනු රත්නායක (කේ.ටී.එම්. 65)
3 මිනුක රත්නායක (කේ.ටී.එම්. 65)


ජේ. එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 9 සිට 12 දක්වා)
1 දිනෙත් මිහිරංග (කවසාකි කේ.එක්ස්. 65)
2 හිරුෂ පාදුක්ක (හොණ්ඩා සී.ආර්. 85)
3 රිවිනු රත්නායක (කේ.ටී.එම්. 85)


ජේ. එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 15 න් පහළ)
1 තාරුක රුමීෂ (හොණ්ඩා සී.ආර්.එෆ්. 85)
2 ගඟන ප්‍රනාන්දු (හස්කුවර්ණා ටී.සී. 85)
3 නිසල ජයසුන්දර (කේ.ටී.එම්. 85)


එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි.ධා. 125 දක්වා) යතුරුපැදි (ස්ට්‍රීට් ට්‍රේල්)
1 රවීෂ ජයෂාන් (කේ.ටී.එම්. ඊ.එක්ස්.සී. 125)
2 නිහාල් විජේරත්න (කේ.ටී.එම්. එක්ස්.සී.ඩබ්ලිව්. 125)
3 මධුර පීරිස් (හස්කුවර්ණා ඩබ්ලිව්.ආර්. 125)


එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි
1 සමීර ප්‍රේමරත්න (යමහා වයි.ඉසෙඞ්. 125)
2 ළහිරු ජීවන්ත (යමහා වයි.ඉසෙඞ්. 125)
3 මධුර පීරිස් (යමහා වයි.ඉසෙඞ්. 125)


එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි පළමු තරගය
1 දේෂාන් සොලංකි (හස්කුවර්ණා එෆ්.සී. 250)
2 ඉමාල් මංචනායක (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
3 යුහාන් රජිත් (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)


එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
2 දේෂාන් සොලංකි (හස්කුවර්ණා එෆ්.සී. 250)
3 පැතුම් ධනංජය (කේ.ටී.එම්. එස්.එක්ස්.එෆ්. 250)

 
එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 ළහිරු ජීවන්ත (යමහා වයි.ඉසෙඞ්.එෆ්.එක්ස්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි.ඉසෙඞ්.එෆ්.එක්ස්. 250)
3 ජයම්පති දිසානායක (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)


එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්.එක්ස්. 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි.ඉසෙඞ්.එෆ්.එක්ස්. 250)
3 ළහිරු ජීවන්ත (යමහා වයි.ඉසෙඞ්.එෆ්.එක්ස්. 250)


එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 විනුෂ්ක සිල්වා (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
2 ජාක් ගුණවර්ධන (කේ.ටී.එම්. එස්.එක්ස්.එෆ්. 250)
3 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)


එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ජාක් ගුණවර්ධන (කේ.ටී.එම්. එස්.එක්ස්.එෆ්. 250)
2 විනුෂ්ක සිල්වා (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
3 ඩී.එම්.ඩී. කල්හාර (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)

 


අදහස් (0)

ජාක් - විනුෂ්ක සටනේ ජය ජාක්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.