Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජපන් ජාතික ටකසේ ටනාකා ත්‍රිත්ව ශූරතා දිනයි

ජපන් ජාතික ටකසේ ටනාකා ත්‍රිත්ව ශූරතා දිනයි

ශානුක අරවින්ද - 2019 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දක්ෂතම සන්නද්ධ සේවා ක්‍රීඩකයා - මධුර පීරිස්

දිගම පිම්ම (අඩි 134) - විනුෂ්ක ටී සිල්වා

දක්ෂතම නැගීඑන ක්‍රීඩකයා - කේසර ගොඩගේ

ශ්‍රී ලංකා යුද හමාදාවේ විජයබාහු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා රේසිං යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව 17 වැනි වරටත් සංවිධානය කළ ‘විජයබාහු මොටෝක්‍රොස්’ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ජපන් ජාතික ටකසේ ටනාකා සමත් විය. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා කුරුණෑගල, බෝයගනේ විජයබාහු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්විණ.

තරගාවලියේ ප්‍රධානම යතුරුපැදි ඉසව්ව වූ එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්ව අදියර 3 කින් සමන්විත වූ අතර කැපී පෙනෙන දක්ෂතා දක්වමින් එම අදියර තුනේම ජය තමන් සතුකර ගැනීමට ටනාකා සමත් විය. සෙසු තරගකරුවන්ට මීටර 50 ක් පමණ ඉදිරියෙන් සිටිමින් පළමු අදියර ජයගත් ටනාකා, දෙවැනි අදියරේදී තායිලන්ත ජාතික අපිචායි රුන්ජරේරන් සමගද, තෙවැනි අදියරේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ජාක් ගුණවර්ධන සමගද කරට කර තරගයක නිතර විය.

දෙවැනි අදියරේදී ටනාකා සහ රුන්ජරේරන්ද, තෙවැනි අදියරේදී ටනාකා සහ ජාක්ද එකිනෙකාට නොදෙවෙනි ධාවනයක යෙදෙමින් නරඹන්නන් කුල්මත් කළහ. එහිදී කිහිපවරක්ම තරගයේ පෙරමුණ ඔවුන් තිදෙනා අතර හුවමාරු වූ අතර අදියර තුන අවසානයේ රුන්ජරේරන්ට දෙවැනි ස්ථාන දෙකක් සහ තෙවැනි ස්ථානයක්ද, ජාක්ට දෙවැනි ස්ථානයක් සහ තෙවැනි ස්ථානයක්ද හිමිවිය. පළමු අදියරේ තෙවැනි ස්ථානය හිමිකරගනු ලැබුවේද තවත් තායිලන්ත ක්‍රීඩකයකු වූ සහරාට් පර්ම්පෝල් විසිනි.

ඉකුත් වසරේ (2018) පැවැති විජයබාහු මොටෝක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් වූ ඉෂාන් දසනායකට සිය යතුරුපැදියේ හටගත් කාර්මික දෝශයක් හේතුවෙන් මෙවර තරගාවලියේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය.

මෙවර තරගාවලියේදී ක්‍රීඩකයක් වාර්තා කළ දිගම පිම්ම වූ අඩි 134 ක පිම්මට හිමිකම් කීමට ලාබාල ක්‍රීඩක විනුෂ්ක ටී. සිල්වා සමත් විය. එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ තෙවැනි අදියරේදී ඔහු එම දක්ෂතාව දැක්වීය. විනුෂ්කගේ එම පිම්ම එදා මෙදා තුර විජයබාහු මොටෝක්‍රොස් තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩකයක් වාර්තා දිගම පිම්ම ලෙසද වාර්තා අතරට එක් විය. මින් පෙර ටොමායා සුසුකි 2015 වසරේදීද, සමීර ප්‍රේමරත්න 2017 වසරේදී අඩි 120 ක දක්ෂතාවක් දක්වමින් එහි පැරණි වාර්තාව පිහිටුවා තිබිණ.

2017 වසරේදී පැවැති විජයබාහු මොටෝක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ විජයබාහු රෙජිමේන්තුවේම ක්‍රීඩකයෙක් වන සමීර ප්‍රේමරත්නට මෙවර තරගාවලියේදී ජයගත හැකි වූයේ එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි ඉසව්ව පමණි. ළහිරු ජීවන්ත සහ මධුර පීරිස් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට ඇද දමමින් සමීර එම ඉසව්ව ජයගත්තේය.

එම්. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සන්නද්ධ සේවා) යතුරුපැදි ඉසව්වේ තෙවැනි ස්ථානයට පත්වූ ගුවන් හමුදාවේ මධුර පීරිස්, ඉන් නොනැවතී එම කාණ්ඩයේම විවෘත යතුරුපැදි ඉසව්ව ජයගනිමින් තරගාවලියේ දක්ෂතම සන්නද්ධ සේවා යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත්තේය.

තවත් වේගවත් ඉසව්වක් වූ එම්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද (ස්ටී්‍රට් ටේ්‍රල්) යතුරුපැදි ඉසව්වද අදියර දෙකකින් පැවැත්විණ. එහිදී කරට කර සටනක නිරත වූ ළහිරු ජීවන්ත සහ ඉවෝන් බී. ගුරුසිංහ පිළිවෙලින් එම අදියර දෙකේ ජයග්‍රාහකයන් බවට පත්වූහ. හිටපු ජාතික මොටෝක්‍රොස් ශූර ගයාන් සඳරුවන්ගේ සොහොයුරු ශානුක සඳරුවන් එම අදියර දෙකේදීම තෙවැනි ස්ථානයට පත්විය.

වයස අවුරුදු 15 න් පහළ තරගකරුවන් සඳහා පැවැති එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් ඉසව්වේ අදියර දෙකම ජයගැනීමට කේසර ගොඩගේ සමත් වූයේ එම ඉසව්වට සහභාගි වූ සෙසු තරගකරුවන්ට ප්‍රබල අභියෝගයක් වෙමිනි. එහිදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු තරගාවලියේ දක්ෂතම නැගී එන ක්‍රීඩකයා ලෙසද සම්මාන ලැබීය.  

‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි. ධා. 65 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්ව සහ එම කාණ්ඩයේම කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්ව පහසුවෙන්ම ජයගැනීමට සමත් වූ දිනෙත් මිහිරංග, අවුරුදු 9 සිට 12 දක්වා වයස් කාණ්ඩයේ වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් විය.

ඉසව් 13 කින් සමන්විත වූ මෙම තරගාවලියට යතුරුපැදිකරුවන් 125 ක් පමණ සහභාගි වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා සහභාගි විය. මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එයාර් වොයිස් වයර්ලස් සමාගම කටයුතු කළ අතර සිංගර් ශ්‍රී ලංකා සමාගම සහ මහජන බැංකුව සම අනුග්‍රහකයන් ලෙස තරගාවලියට එක් විය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - ටකසේ ටනාකා

 

තරග ප්‍රතිඵල
‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි.ධා. 65 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (වයස අවුරුදු 9 සිට 12 දක්වා)
1 දිනෙත් මිහිරංග
2 රිවිඳු රත්නායක
3 මිනුක රත්නායක


‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (වයස අවුරුදු 9 සිට 12 දක්වා)
1 දිනෙත් මිහිරංග
2 හිරුෂ පාදුක්ක
3 රිවිඳු රත්නායක


‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය (වයස අවුරුදු 15 න් පහළ)
1 කේසර ගොඩගේ
2 තාරුක රුමීෂ ද සිල්වා
3 අයෝන් එස්. පෙරේරා


‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය (වයස අවුරුදු 15 න් පහළ)
1 කේසර ගොඩගේ
2 තාරුක රුමීෂ ද සිල්වා
3 ගඟන ප්‍රනාන්දු


‘එම්’ කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (සන්නද්ධ සේවා)
1 රවීෂ ජයෂාන්
2 නිහාල් විජේරත්න
3 මධුර පීරිස්


‘එම්’ කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (විවෘත)
1 මධුර පීරිස්
2 රවීෂ ජයෂාන්
3 නිහල් විජේරත්න


‘එම්. එක්ස්.’ කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය
1 සමීර ප්‍රේමරත්න
2 ළහිරු ජීවන්ත
3 මධුර පීරිස්


‘එම්’ කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 ළහිරු ජීවන්ත
2 ඉවෝන් බී. ගුරුසිංහ
3 ශානුක සඳරුවන්


‘එම්’ කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ට්‍රීට් ට්‍රේල්)
1 ඉවෝන් බී. ගුරුසිංහ
2 ළහිරු ජීවන්ත
3 ශානුක සඳරුවන්


එම්. එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි පළමු තරගය
1 ටකසේ ටනාකා (ජපානය)
2 අපිචායි රුන්ජරේරන් (තායිලන්තය)
3 සහරාට් පර්ම්පෝල් (තායිලන්තය)


එම්. එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි දෙවැනි තරගය
1 ටකසේ ටනාකා (ජපානය)
2 අපිචායි රුන්ජරේරන් (තායිලන්තය)
3 ජාක් ගුණවර්ධන


එම්. එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස්  යතුරුපැදි තෙවැනි තරගය
1 ටකසේ ටනාකා (ජපානය)
2 ජාක් ගුණවර්ධන
3 අපිචායි රුන්ජරේරන් (තායිලන්තය)

 

 


අදහස් (0)

ජපන් ජාතික ටකසේ ටනාකා ත්‍රිත්ව ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.