Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක්ස් 30-22 කින් සී. ආර්. පරදවයි

හැව්ලොක්ස් 30-22 කින් සී. ආර්. පරදවයි

යොහාන් භාසුර - 2020 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

"ඩයලොග්" කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තරගයකදී හැව්ලොක්ස් ක්‍රීඩකයෝ සී. ආර්. පිල පරදවා ලකුණු 30-22 ක ජයක් ලැබීමට සමත් වූහ. හැව්ලොක්ස් පිටියේදී සෙනසුරාදා (11) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයෙන් හැව්ලොක්ස් පිල ලැබූ ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කරගැනීමට සත්කාරක පිලට හැකිවිය.

හැව්ලොක්ස් ක්‍රීඩකයෝ තරගය ආරම්භයේ සිටම ග්‍රහණය රඳවා ගනිමින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ. හැව්ලොක් පිලට අටවැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර සන්දේෂ් ජයවික්‍රම සාර්ථක කිරීමත් සමඟ ලකුණු 3-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

ජනිඳු ඩිල්ෂාන් ඉන් මිනිත්තු පහකට පසුව සී. ආර්. පිලට පළමු උත්සාහක දිනුම එකතු කිරීමත් සමඟ ලකුණු 5-3 ක් ලෙස සී. ආර්. පිල පෙරමුණ ගත්තේය. උමේෂ් මධුෂාන් 19 වැනි මිනිත්තුවේදී හැව්ලොක් පිලට එකතු කළ උත්සාහක දිනුම සන්දේෂ් ජයවික්‍රම ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් හැව්ලොක් පිල ලකුණු 10-5 ක් ලෙස පෙරමුණට පැන්නේය.

තරගයේ 20 වැනි මිනිත්තුවේ සිට මිනිත්තු 10 ක පමණ කාලය තුළ සී. ආර්. පිලේ කෙවින් ඩික්සන් සහ හැව්ලොක් පිලේ අෂ්මීර් ෆජුඩීන් කහ කාඞ්පත් අවවාද ලබා සිටියෙන් ඉවත්වූහ.

සී. ආර්. පිලට 33 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් උත්සාහක දිනුමෙන් ලකුණු 12-10 ක් ලෙස නැවතත් පෙරමුණ ගත්තේය. ඉන් පසුව තරගය කොතරම් උණුසුම් වූවාද කිවහොත් 34 වැනි මිනිත්තුවේ සිට 36 වැනි මිනිත්තුව දක්වා මිනිත්තු දෙකක් තුළ හැව්ලොක් පිලේ ෆර්තාම් ෆාසි සහ සී. ආර්. පිලේ ප්‍රවීණ ක්‍රීඩක ශරෝ ප්‍රනාන්දු කහ කාඩ්පත් අවවාද ලබා සිටියෙන් ඉවත්ව සිටියහ.

සවින් මුලර් 36 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් හැව්ලොක් පිල ලකුණු 15-12 ක් ලෙස පළමු අර්ධය නිමාවේදී පෙරමුණ ගත්තේය.

දෙවැනි අර්ධයේ පස්වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට රීසා මුබාරක් සාර්ථක කළ දඩුවම් පහරින් ලකුණු පුවරුව 15-15 ක් ලෙස සමවිය.

හැව්ලොක් ක්‍රීඩකයෝ සමස්ත තරගයේ 48 වැනි මිනිත්තුවේ සිට 70 වැනි මිනිත්තුව දක්වා සී. ආර්. පිල ග්‍රහණයේ තබාගනිමින් ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු 15 ක් රැස්කිරීමෙන් ප්‍රතිවාදීන් අමාරුවේ වැටුණි.

ශවුකට් ලාහිර් සහ උමේෂ් මධුෂාන් එම මිනිත්තු 22 ක තුළ සී. ආර්. ගෝල සීමාව අක්‍රමණය කිරීමට සමත් වූහ. සන්දේෂ් ජයවික්‍රම ගෝල ප්‍රවර්ථනයක් සහ දඩුවම් පහරක් සාර්ථක කළේය. ගැමුණු චේතිය 76 වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට එකතු කළ උත්සාහක දිනුම රීසා මුබාරක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 30-22 ක් බවට පෙරලුණි.

හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ඉතිරි මිනිත්තු හතරේදී පන්දුව වැඩි කාලයක් තමන් සතුව තබාගැනීමට වගබලා ගැනීමේ උපක්‍රමක් අනුගමනය කළහ.

(ඡායාරූප: ඉෂාන් සංජීව)


අදහස් (0)

හැව්ලොක්ස් 30-22 කින් සී. ආර්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.