Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා කණ්ඩායම කාගේත් තේරීම වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම කාගේත් තේරීම වෙයි

editorial - 2019 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශම්ශීර් ජලීල්)

ආසියානු රග්බි තරගාවලියේ පළමු ශ්‍රේණියේ කුසලාන දිනාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද (25 වැනිදා) රාත්‍රියේ චීන තායිපේ බලා පිටත්ව යයි. තරගාවලියේ අවසන් පූර්ව තරග  මේ මස 29 වැනිදාත් අවසන් මහ තරගය ජූනි 1 වැනිදාත් පැවැත්වේ.  

තායිපේ බලා යන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් 26 දෙනකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගෙන් ක්‍රීඩකයෝ 13 දෙනෙක් පළමු වරට ශ්‍රී ලංකා පිල නියෝජනය කරති. ශ්‍රී ලංකා නායක ඔමල්ක ගුණරත්න තවමත් 23 හැවිරිදි වියේ සිටින අතර ශ්‍රී ලංකාවේ පළමු පෙළ ජාතික කණ්ඩායමට නායකත්වය දුන් ළාබාලතම ක්‍රීඩකයාද වෙයි.

අන්තර්ජාතික රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විට 44 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පිවිසෙන්නේ තරගාවලිය ජයගැනීම සඳහා වන කාගේත් තේරීම ලෙසිනි.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය 29 වැනිදා ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පැවැත්වෙයි. දෙවැනි අවසන් පූර්ව තරගය එදිනම චීන තායිපේ සහ සිංගප්පූරුව අතර පැවැත්වේ.

අවසන් මහ තරගය ජූනි 1 වැනිදා පැවැත්වීමට නියමිතය.

“මේ තරගාවලියට යන්නට ඉස්සරවෙලා අපි ඒකට සූදානම් වූ ආකාරය ගැන මා ඉතාමත් සතුටට පත්ව සිටිනවා. අපට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී හොඳ පුහුණුවක් ලැබුණා. ඒ නිසා ක්‍රීඩකයන් මේ වන විට හොඳින් එකිනෙකා සමග සම්බන්ධ වී සිටිනවා. අපට ඕනෑ කරන්නේ කුසලානය දිනාගෙන එන්නයි” යයි ඔමල්ක ගුණරත්න පැවසීය.

මේ වන විටත් ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම නියෝජනය කර සිටින රීසා රෆයිඩීන්, මිතුන් හපුගොඩ, දිනුක් අමරසිංහ සහ බුද්ධිම පියරත්න මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා 15 දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් හා හා පුරා කියා තරග වදිනු ඇත. සජිත් සාරංග සහ රොෂාන් වීරරත්න අත්දැකීම් සහිත ක්‍රීඩකයෝ වෙති
මැතිව් ලී, ෆසිල් මරීජා සහ විරාජ් ප්‍රසන්න එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කරති.

“අපි මැලේසියාවට ගිය වෙලාවේ අපේ තිබුණ දුර්වලතා කිහිපයක් හඳුනාගත්තා. පස්සේ ඇවිත් ඒ දුර්වලකම් කෙරේ වැඩි අවධානයක් යොමු කරලා ඒවා දැන් හදාගෙනයි තියෙන්නේ...” යයි කී මැතිව් ලී මහතා......
“ඕස්ටේ්‍රලියානුවන් කිහිප දෙනකුත් ක්‍රීඩා කරන නිසා පිලිපීනය හොඳ කණ්ඩායමක්. ඒත් අපට තරුණ කණ්ඩායමක් ඉන්නවා. අපේ සැලසුම අනුව ක්‍රීඩා කළොත් අපට දිනන්න පුළුවන්” යයිද පැවසීය.
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ අනුග්‍රාහකයන් වශයෙන් ඩයලොග් ආසියාටා සමාගම කටයුතු කරයි.


ශ්‍රී ලංකා කණ්ඩායම
ඔමල්ක ගුණරත්න (නායක), ජේසන් මෙල්ඩර්, කවිඳු පෙරේරා, කසුන් ද සිල්වා, චාල්ස් ප්‍රවීන්, යාකුබ් අලී, ප්‍රසාත් මධුසංක, උචිත ජයසූරිය, සජිත් සාරංග, උමේෂ මධුෂාන්, ප්‍රභාත් කුමාර, තිළිණ බණ්ඩාර, නිවංක ප්‍රසාද්, ගිහාන් පෙරේරා, ලසිඳු ඉෂාන්, රොෂාන් වීරරත්න, මිතුන් හපුගොඩ, සැමුවෙල් මධුවන්ත, අශාන් බණ්ඩාර, දිනුක් අමරසිංහ, තීක්‍ෂණ දසනායක, රීසා රෆයිඩීන්, බුද්ධිම පියරත්න, සචිත් සිල්වා, සුධාරක දික්කුඹුර සහ තිළිණ විජේසිංහ


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම කාගේත් තේරීම වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.