Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රග්බි පැංචෝ දැවැන්තයින්ට අභියෝග කරති

රග්බි පැංචෝ දැවැන්තයින්ට අභියෝග කරති

editorial - 2019 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීට සතියකට පෙර, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව අංක එකේ රගර් කණ්ඩායම වූ අයර්ලන්තය පරදවා ජපානය ලද ජයග්‍රහණය ලෝක කුසලාන රග්බි තරග ඉතිහාසයේ දැවැන්ත පෙරළියකි. එපමණක් නොව, මෙම තරගාවලියට එක්ව සිටින ආධුනික කණ්ඩායම්වල වික්‍රමාන්විත තරග රටාව දෙස බැලූ විට පෙනී යන්නේ රගර් ක්‍රීඩාවේ දැවැන්තයන් සහ ආධුනිකයන් අතර වෙනස ක්‍රමයෙන් කුඩා වෙමින් තිබෙන බවයි.

ජපානයේදී පැවැත්වෙන රගර් ලෝක කුසලාන තරගාවලියෙන් තවමත් ගෙවී ගොස් ඇත්තේ දින කිහිපයක් පමණක් වුවත්, මේ දක්වා දුර්වල තරග තිබුණේ මීට පෙර පැවැති ලෝක කුසලානවලට වඩා තරමක් අඩුවෙනි.
මීට පෙර රග්බි ලෝක කුසලානයේ ලකුණු සටහන් ක්‍රිකට් තරගයකට ලකුණුවලට බොහෝ සෙයින් සමාන විය. 1995 දී නවසීලන්තය හමුවේ ලකුණු 145-17 ක් ලෙසින් ජපානය ලද පරාජය මෙන්ම 2003 වසරේදී ඕස්ට්‍රේලියාව විසින් ලකුණු 142-0 ක් ලෙසින් නැමීබියාව පරාජයට පත්කිරීමද ඊට හොඳ උදාහරණයන්ය.

එහෙත් රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට පළමු සතියේදී කිසිදු කණ්ඩායමක් ලකුණු 50 සීමාව ඉක්මවා නොගිය අතර, ජපානය ලකුණු 19-12 ක් ලෙසින් අයර්ලන්තය පරාජයට පත්කිරීම මෙන්ම උරුගුවේ කණ්ඩායම ලකුණු 30-27 ක් ලෙසින් ෆීජි කණ්ඩායම පරාජයට පත්කිරීමද කිසිවෙකුත් අපේක්ෂා නොකළ තත්ත්වයක් විය.

මෙවර ලෝක කුසලානයට තරග වදින කණ්ඩායම් අතුරින් ශ්‍රේණිගත කිරීම්වල පහළින්ම සිටින නැමීබියාව පවා සිය පළමු පරාජය 47-22 ක් ලෙසින් සීමා කරගත්තේය. දකුණු අප්‍රිකාව හමුවේ ඔවුන් පරාජයට පත්වූයේ  ලකුණු 57-3 ක් ලෙසිනි. එය තරමක් දරුණු පරාජයක් වුවත්, එය 2011 වසරේදී 87-0 ක් ලෙසින් ඔවුන් ලද පරාජයට සාපේක්ෂව තරමක වර්ධනයකි.

“අපි ඔවුන්ව ලකුණු 60 ට අඩුවෙන් තබාගත්තා. ඒකත් එක විදිහක සතුටට කාරණයක්” යනුවෙන් පවසන්නේ නැමීබියානු පුහුණුකරු පිල් ඬේවිස් ය.

“ඔබට තවදුරටත් ලකුණු 100, 80 හෝ 70 ක් ලබාගැනීමට හැකියාවක් නැහැ. ඒ තරගාවලියේ  පළමු සතියේදීම පෙනුණා’” යයි දකුණු අප්‍රිකානු පුහුණුකරුවා පැවසීය.

ලෝකයේ හොඳම රග්බි කණ්ඩායම් (පළමු ස්ථරය) ලෙසින් වර්ගීකරණය කරන අතර, ඊට කණ්ඩායම් 6 ක් ඇතුළත් වෙති. රග්බි ශූරතාවලිය නැතිනම් (දෙවැනි ස්ථරය) ට ඇතුළත් වන්නේ ජාපනය සහ පැසිෆික් රටවල්ය.
මෙම රටවල අතර හිදැස වසා දැමීම ලෝක රග්බි සංගමයේ ප්‍රධානම ඉලක්කයක් වන අතර, ඇමෙරිකාව සහ ටොංගා කණ්ඩායම් පරාජයට පත්කළ එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු එඩී ජෝන්ස් පවසන්නේ අන්තර්ජාතික රග්බි මණ්ඩලයේ උපාය මාර්ගය ප්‍රතිඵලදායක වන බවයි.

“මේ ලෝක කුසලාන තරගාවලිය සුවිශේෂී එකක්. මොකද දෙවැනි ස්ථරයේ කණ්ඩායම් සියල්ලම භෞතිකව හොඳින් සුදානකම් වෙලා ඉන්නේ කියලා ඔබට පේනවා” යැයි ජෝන්ස් පවසයි. 2015 වසරේදී දකුණු අප්‍රිකාව පරදා ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගැනීමට ජපානය පුහුණු කළේ ජෝන්ස්ය.

“ඒකේ ගෞරවය අන්තර්ජාතික රග්බි මණ්ඩලයට දෙන්න ඕනේ. ඔවුන්ට ඕනෑ තරමට ගෞරව ලැබෙන්නේ නැහැ. ඒත් පළමු ස්ථරය වර්ධනය කිරීමේ ගෞරව ඔවුන්ට ලැබෙන්න ඕනේ. මොකද ඒක ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම හොඳ දෙයක්” යයි ජෝන්ස් කියයි.

මේ සම්බන්ධයෙන් ඒ.එෆ්.පී. පුවත් සේවය වෙත අදහස් දක්වමින් තරගාවලි අධ්‍යක්ෂ ඇලන් ගිල්පින් පවසා ඇත්තේ ශ්‍රේණිගත කිරීමේ පහළින් සිටින කණ්ඩායම් දක්වන දක්ෂතා නිසා අන්තර්ජාතික රග්බි මණ්ඩලය සංවර්ධන වැඩසටහන්වල කළ ආයෝජන යුක්තිසහගත වන බවය.

“කලින් පැවැති ලෝක කුසලාන වගේ නෙමෙයි. දැන් කණ්ඩායම් එන්නේ හොඳින් සුදානම් වෙලා. ලෝක රග්බි ආයතනය දියුණුවෙමින් පවතින කණ්ඩායම් සමගින් ඉහළ දක්ෂතා වැඩසටහන් සහ සංවර්ධන වැඩසටහන්වල බොහෝ ආයෝජන කර තිබෙනවා. ඉතින් මේ ගැන සැබැවින්ම සතුටුයි” යැයි ඒ.එෆ්.පී. පුවත් සේවය වෙත අදහස් දක්වමින් ගිල්පින් පවසා ඇත.

ලෝක රග්බි ආයතනයේ දෙවැනි ස්ථරයේ පුහුණුකරුවන් 150 න් 120 ක්ම ලෝක රග්බි අරමුදල් හෝ ආයෝජනවලින් ප්‍රතිලාභ අත් පත් කරගෙන ඇති බවද ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාතික රග්බි මණ්ඩලයේ තරග කාලසටහනට “ජිග්සෝ” ක්‍රමවේදය හඳුන්වා දීමට උත්සාහ දරා ඇති අතර, එවිට දෙවැනි ස්ථරයේ කණ්ඩායම්වලට පළමු ස්ථරයේ කණ්ඩායම් සමග තරග වැදීමට සිදුනොවන බවද ගිල්පින් පවසයි.

“අපි නැගී එන කණ්ඩායම්වලට සාධාරණයක් කිරීමට උත්සාහ කරනවා” ගිල්පින් කියයි.
මෙවර ලෝක කුසලාන තරගාවලිය ඉතිහාසයේ ‘වඩාත්ම විවෘත’ ලෝක කුසලාන තරගාවලිය ලෙසින් හැඳින්වෙන අතර, අතපසුවීම්වලින් බලපෑම් සිදුවන්නේ පළමු ස්ථරයේ කණ්ඩායම්වලට පමණක්ම නොවේ. දෙවැනි ස්ථරයේ ෆිජි කණ්ඩායමට එරෙහිව උරුගුවේ ලබාගත් ජයග්‍රහණයද ඊට උදාහරණයකි.

43-14 ක් ලෙසින් අවසානයේදී පරාජයට පත්වීමට පෙර වේල්සයට එරෙහිව හොඳ තරගයක් ලබාදුන් ජෝර්ජියා කණ්ඩායමේ පුහුණුකරුවා පවසන්නේ ශ්‍රේණිගත කිරීම්වල පහළින් සිටින කණ්ඩායම්වලට වැඩි වැඩියෙන් ඉහළින් සිටින කණ්ඩායම් සමග තරග වැදීමට අවස්ථාව හිමිවිය යුතු බවය.

“ඔබට ලෝක කුසලානයකදී වේල්සය වගේ කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරන්න බැහැ. මොකද ඒ වගේ වේගයකින් ක්‍රීඩා කරලා අපට පුරුදු නැත්නම් අපෙන් ප්‍රාතිහාර්යයක් තමයි බලාපොරොත්තු වෙන්න ඕනේ” ජෝර්ජියා පුහුණුකරු මිල්ටන් හයිග් පවසයි.


(ඒ.එෆ්.පී. ඇසුරෙනි)
අනිල් කරුණාරත්න

 


අදහස් (0)

රග්බි පැංචෝ දැවැන්තයින්ට අභියෝග කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.