Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Records ටානියාගේ වසර 32ක් පැරැණි වර්තාවත් බිඳ වැටෙයි

ටානියාගේ වසර 32ක් පැරැණි වර්තාවත් බිඳ වැටෙයි

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

වසර 32ක් පැරැණි මීටර් 200 වයස 18න් පහළ බාලිකා ඉසව්වේ එතෙක් පැවැති වාර්තාව බිඳ දමමින් එහි නව වාර්තාවට හිමිකම් කීමට ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (24) දෙවැනි දිනයේදී රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ෂෙලින්ද්‍ර ජෙන්සන් (තත්පර 24.98) සමත් වූවාය.

ෂෙලින්ද්‍ර මෙසේ ඊයේ බිඳ දැමුවේ 1986 වසරේදී ටානියා වෑන්හියර් තත්ත්පර 24.8කට එම ඉසව්වේ පිහිටුවා තිබූ වාර්තාවයි.

කොළඹ මෙතෝදිස්ත බාලිකා විදුහලේ එවකට ශිෂ්‍යාවක් ලෙස පාසල් මලල ක්‍රීඩා පිටියේ කෙටි ධාවන ශූරීයක් ලෙස නැගී ආ ටානියා වෑන්හියර්ගේ එකළ නව වාර්තාව සටහන් වූයේ අත් කාලඝනක යන්ත්‍ර උපයෝගි කර ගනිමිනි.

මෙකල ෂෙලින්ද්‍රගේ නව වාර්තාව තත්ත්පර 24.98ක් ලෙස විද්‍යුත් කාලඝනක යන්ත්‍රයේ සටහන් විය. කෙසේ වුවත් එදා ටානියා පිහිටවූ නව තරග වාර්තාව තත්ත්පර 24.8ක් ලෙස දැක්වුවත් විද්‍යුත් කාලඝනක යන්ත්‍ර ඔස්සේ එහි තරග නිමි කාලය සටහන් විය යුත්තේ තත්ත්පර 25.04ක් ලෙසය. අත් කාලඝනක යන්ත්‍රවලින් කෙරෙන ගණනය කිරීම්වලට තවත් දශම ගණනක් එකතු කෙරෙන බැවින් එසේ ටානියාගේ පැරැණි තරග වාර්තාව සලකන්නේ තත්ත්පර 25.04ක් පරිදිය.

මෙසේ සුගතදාස පිටියේ නව කෘත්‍රිම ධාවන පථයේ පෙරේදා වසර 29ක් පැරැණි මීටර 800 බාලිකා වාර්තාවක්ද බිඳ වැටුණි.

මේ අතර ඊයේ දිනයේදී චාවකච්චේරිය හින්දු විදුහලේ ඒ. පුවිතරන් රිටි පැනීම වයස 20න් පහළ බාලක ඉසව්වෙන් මීටර 4.70කට නව කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්විය. මීට පෙර මෙම කනිෂ්ඨ ශ්‍රී ලංකා රිටි පැනීමේ වාර්තාව මීටර 4.61කට හිමි කර ගෙන තිබුණේත් යාපනය ප්‍රදේශයේම ක්‍රීඩකයකු වන යාපනය අරුණෝදය විදුහලේ නප්තාලි ජේන්ස් විසිනි.

ඉබ්බාගමුව මැදි විදුහලේ පී.අයි.එල්. පල්ලේගම විසින් උස පැනීම වයස 16න් පහළ බාලිකා ඉසව්ව මීටර 1.71කට නිමා කරමින් වසර 10ක් පැරැණි එහි වාර්තාව බිඳ දැමීමත් ඊයේ දිනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් අතර ඉහළින් කැපී පෙනුණි.

ඊයේ දිනයේදී හේෂානි මහේෂිකාගේ කවපෙත්ත විසි කිරීම ඉසව්වේ දස්කම් කැපී පෙනුණේ ඇය වසර 20ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට සමත්වීමෙනි. ඒ වයස 16න් පහළ බාලිකා කාණ්ඩයෙන් තරග වැදි 1998දී පිහිටුවා තිබූ එහි පැරණි වාර්තාව බිඳ දැමීමෙනි.

සුගතදාස නව කෘත්‍රිම ධාවන පථය ධාවකයන්ට වඩාත් වේගයක් ලබා දෙන හැකියාවක් පළකරමින් ඊයේ එහි පැවැති කෙටි ධාවන ඉසව් කිහිපයකදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් වඩාත් වේගයක් පළ විය. එහිදී මීටර 200 වයස 20න් පහළ බාලක ඉසව්ව අරුණ දර්ශන තත්පර 21.36කට නිමා කිරීම (නව වාර්තාවකි) වඩාත් අගයක් ගන්නා බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.

දින හතරක් පුරා වයස් කාණ්ඩ හතරකින් ඉසව් 150ක් දක්වා පැවැත්වෙන මෙවර ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි දිනය වන අද (25) ඉසව් අවසන් තරග 32ක් පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ ඊයේ (24) දෙවැනි දිනයේ නව වාර්තා

රිටි පැනීම - වයස 20න් පහළ බාලක:
ඒ. පුවිතරන් (චාවකච්චේරිය හින්දු විදුහල - මීටර 4.70)

උස පැනීම - වයස 16න් පහළ (බාලිකා)
පී.පී.අයි.එන්. පල්ලේගම (ඉබ්බාගමුව මැදි විදුහල - මීටර 1.71)

කවපෙත්ත විසි කිරීම - වයස 16න් පහළ බාලිකා
හේෂානි මහේෂිකා (මීටර 38.29)

මීටර 200 වයස 16න් පහළ බාලිකා
තවිදි සංජනා එදිරිසිංහ (නාවල ජනාධිපති බාලිකා විදුහල - තත්පර 25.80)

මීටර 200 - වයස 18න් පහළ බාලිකා

ෂෙලින්ද්‍රා ජේසන් (රාජගිරිය ගේට්වේ - තත්පර 24.98)

මීටර 200 වයස 20න් පහළ (බාලක)

එස්. අරුණ දර්ශන (අතුරම්බොඩ වීර කැප්පෙටිපොළ විදුහල - තත්පර 21.38)

මීටර 200 - වයස 23න් පහළ (බාලක)

සචිත් නිලක්ෂ පෙරේරා (කොළඹ - තත්ත්පර 21.50) හා මොහොමඞ් සෆාන් (ලංකා ලයන්ස් - 21.50)

මීටර 3000 ධාවන වයස 20න් පහළ - බාලිකා

මේනකා කනගරත්න (වලල ඒ. රත්නායක මැදි විදුහල - විනාඩි 10 තත් 57.11)

උස පැනීම - වයස 23න් පහළ බාලිකා
පූර්ණිමා ජයමාලි ගුණරත්න (කළුතර - මීටර 1.80)

අනුර දර්ශන

 

මීටර් 200 වයස 23න් පහළ බාලක තරගයේ අවස්ථාවක්, නවබවාර්තාවක් පිහිටවූ (තත් 21.50) සචිත් නිලක්ෂ පෙරේරා (මැද) තරගය නිමාකළ  අයුරු.

කුමාරි වනිගරත්න

දිනේෂ් නවරත්න 

තිලිණ අකලංක

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

ටානියාගේ වසර 32ක් පැරැණි වර්තාවත් බිඳ වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.