Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට රන් පදක්කම් 40 ක්

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 40 ක්

editorial - 2019 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් මොහොතේදී පදක්කම් පුවරුවට තවත් රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 4 ක් එක්කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී තමන් දිනූ රන් පදක්කම් සංඛ්‍යාව 40 ක් දක්වා ඉහළ දමාගත්හ. රන් පදක්කම් 174 ක් දිනාගත් ඉන්දියාව සුපුරුදු පරිදි කලාපයේ ශූරයන් බවට පත්වූ අතර රන් පදක්කම් 51 ක් දිනාගත් නේපාලය දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගන්නා ලද රිදී පදක්කම් සංඛ්‍යාව 83 ක් වූ අතර ලෝකඩ පදක්කම් සංඛ්‍යාව 127 කි. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඊයේ (10 වැනිදා) නේපාලයේ කත්මණ්ඩු නුවර දශරත් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.

තරගාවලියේ අවසන් මොහොතේදී නේපාලයේ ගනේෂ් ප්‍රධාන් පරාජය කළ ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක රුමේෂ් සඳකැළුම් කිලෝ ග්‍රෑම් 81 බර පන්තියේ රන් පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ රන් පදක්කම් සංඛ්‍යාව 40 දක්වා ඉහළ දැම්මේය. ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව 250 සීමාව ඉක්මවා ගියේය.

අවසන් පූර්ව වටයේදී නේපාලයේ ප්‍රධාන් විසින් ඉන්දියානු ක්‍රීඩකයා පරාජය කරන ලදි. එහෙත් සඳකැළුම් අවසන් තරගයට පිවිසියේ වඩාත් ප්‍රබල ක්‍රීඩකයකු වූ පාකිස්තානයේ උවයිස් අලි ඛාන් පරාජය කරමිනි. උවයිස් අලි ඛාන් ලෝක ආධුනික බොක්සිං ශූරතාවලියේදී කි.ග්‍රෑ 81 බරපන්තියේ ලෝක ශූරතාව දිනාගත් ක්‍රීඩකයාය.
කාන්තා බොක්සිං තරගාවලියේ කි.ග්‍රෑ 57 බර පන්තියේදී අයෝමා දුලාංජලී රිදී පදක්කමක් දිනාගත්තාය. බුවනෙක එරන්ද, නිල්මිණි ආතාවුද, ලසිඳු එරන්ද සහ නිස්සංක ජීවන්ත ලෝකඩ පදක්කම් දිනාගත්හ.

ඉන්දියාව හමුවේ ලකුණු 101-62 ක් පරිදි පරාජය වූ හෙයින් පිරිමි තරගාවලියේදී රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායමට සිදුවිය. ඒ අනුව පැසිපන්දු තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් ශ්‍රී ලංකා පිලට හිමිවී තිබේ. දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය 3 ං 3 ආකාරයේ තරගාවලියකි.

කෙසේ වෙතත් පැසිපන්දු තරගාවලිය සම්පූර්ණයෙන්ම පාහේ ඉන්දියානුවන්ගේ අණසකට යටත් වූ තරගාවලියක් විය. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෘත්තීමය මට්ටමට ආසන්නයේ සිටි බැවින් ඔවුන් තමන්ට ලැබුණු සෑම අවස්ථාවෙන්ම උපරිම ප්‍රයෝජන ගත්හ.

නේපාලයේ සංස්කෘතික අංග වලින් විචිත්‍රවත් වූ ක්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවය කත්මණ්ඩු නුවර දශරත් ක්‍රීඩාංගණයේදී පැය තුනක කාලයක් පුරා පැවැත්විණ. එහිදී නේපාල ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීහු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ නිල ධජය පාකිස්තානු ඔලිම්පික් කමිටු නිලධාරීන් වෙත බාර දුන්හ.

යම් හෙයකින් මෙම ක්‍රීඩා උළෙල මීළඟ වතාවේ සංවිධානය කිරීමට පාකිස්තානය අසමත් වේ නම් එම අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.

ඡායාරූප - සමීර පීරිස්


අදහස් (0)

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 40 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.