Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා පිල හෙට ඉන්දියාව බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා පිල හෙට ඉන්දියාව බලා පිටත්ව යයි

ශානුක අරවින්ද - 2019 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙසැම්බර් මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා ඉන්දියාවේ පූනේහිදී පැවැත්වෙන අටවැනි ‘ජාත්‍යන්තර කැරම් සම්මේලන කුසලාන’ ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (30 වැනිදා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ජාතික කැරම් තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ශ්‍රේණිගත ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අට දෙනෙක් මෙවර ජාත්‍යන්තර කැරම් සම්මේලන කුසලාන කැරම් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරති. ඔවුහු පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පුහුණුවීම් කටයුතුවල නිරත වූහ.

ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දුට හිමිව ඇති අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නාවික හමුදාවේ ජෝශප් රොෂිටාට හිමිව ඇත.
කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඞ් හිල්මි, යුද හමුදාවේ අනස් අහමඞ් සහ ගුවන් හමුදාවේ දිනෙත් දුලක්‍ෂණ ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම නියෝජනය කරන සෙසු ක්‍රීඩකයෝ වෙති. යුද හමුදාවේ මධුකා දිල්ශානී රණවීර, එම්. චිත්‍රාදේවී සහ රෙබෙකා ඩැල්රින් කාන්තා කැරම් කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩිකාවෝ වෙති.
පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කන්තා යුගල, පිරිමි කණ්ඩායම් සහ කාන්තා කණ්ඩායම් ලෙස ඉසව් හයකින් සමන්විත වන මෙම ශූරතාවලිය ජාත්‍යන්තර කැරම් සම්මේලනය මගින් වසර හතරකට වරක් පවත්වනු ලබන්නකි. මෙවර එහි සංවිධාන කටයුතු ඉන්දීය කැරම් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන අතර මහාරාෂ්ට කැරම් සංගමය සහ පූනේ කැරම් සංගමය එහි සත්කාරකත්වය දරයි.

මෙවර ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 16 ක් සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ශූරතාවලියට සහභාගී වන්නේ අවසන් වරට ලෝක ශූරතාවය දිනාගත් පිරිමි කණ්ඩායම සහ අනු ශූරතාවය හිමිකරගත් කාන්තා කණ්ඩායම ලෙසිනි.

ජාත්‍යන්තර කැරම් සම්මේලන කුසලාන කැරම් ශූරතාවලියට සමගාමීව පවත්වනු ලබන “ස්විස් ලීග්” ලෝක කැරම් ශූරතාව සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වීමට නියමිතය.

2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති හයවැනි ලෝක කැරම් ශූරතාවලියේදී ඉන්දීය ක්‍රීඩක බී. භාරත දාසන් පරාජය කරමින් ලෝක කැරම් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් පවත්වන ලද මෙම වසරේ (2019) ජාතික කැරම් ශූරතාවලියේදී නිශාන්ත ප්‍රනාන්දු පරාජය කරමින් ප්‍රථම වතාවට ජාතික ශූරතාවය සහ සභාපති කුසලාන කැරම් ශූරතාවය දිනාගත් රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ෂහීඞ් හිල්මි මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම සිටිති.

කෙසේ වුවත් පසුගිය ලෝක කුසලාන කැරම් ශූරතාවලියේදී ජයග්‍රහණය සඳහා සුවිශේෂී දායකත්වයක් සැපයූ චමිල් කුරේ විදේශගතව සිටීම හේතුවෙන්ද, වත්මන් ජාතික කැරම් ශූරිය වනගුවන් හමුදාවේ චලනි ලක්මාලි පෞද්ගලික හේතුවක් මතද මෙම ශූරතාවලියට සහභාගි නොවෙති.  

දින හයක් පුරා ඉන්දියාවේ පූනේහි හින්දු ජිම්කානා ශාලාවේ පැවැත්වෙන මෙම ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන් ලෙස ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ උප සභාපති සුසන්ත ප්‍රනාන්දු සහ උප ලේකම් කරුණාරත්න ජයසිංහ යන මහත්වරු ඇතුළත්ව සිටිති.


ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම
නිශාන්ත ප්‍රනාන්දු (නාවික හමුදාව) - නායක, ෂහීඞ් හිල්මි (රාජකීය විද්‍යාලය), අනස් අහමඞ් (යුද හමුදාව) සහ දිනෙත් දුලක්‍ෂණ (ගුවන් හමුදාව)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
ජෝශප් රොෂිටා (ශ්‍රී ලංකා නාවික හමුදාව) - නායිකා, මධුකා දිල්ශානී රණවීර (යුද හමුදාව), එම්.චිත්‍රාදේවී (යුද හමුදාව) සහ රෙබෙකා ඩැල්රින් (යුද හමුදාව)

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල හෙට ඉන්දියාව බලා පිටත්ව යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.