Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය අනුග්‍රාහකයෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය අනුග්‍රාහකයෙක්

editorial - 2019 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේදී මේ මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස ඉන්දීය සමාගමක් වන කෙන්ට් ආර්.ඕ. සිස්ටම්ස් සමාගම ඉදිරිපත් වී සිටියි. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ නිල ඇඳුම් අනුග්‍රහකයා ලෙස මාස් හෝල්ඩින්ස් ආයතනය තව දුරටත් කටයුතු කරයි.

මෙම අනුග්‍රහය නිලවශයෙන් ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ (03) පස්වරුවේ පැවැත්විණි. කෙන්ට් ආර්ඕ සිස්ටම්ස් සමාගම ජලය පිරිසිදු කිරීම සම්බන්ධ ඉහළ තාක්‍ෂයෙන් යුත් ප්‍රධාන සමාගමකි.

කෙන්ට් ආර්ඕ සිස්ටම්ස් ආයතනයේ අධ්‍යක්‍ෂ විනීට් කන්වර් මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් බවත් තම ආයතනයට එම කණ්ඩායමට අනුග්‍රහ දැක්වීමට ලැබීම ගැන සතුටට පත්වන බවයි. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලි නිල තරග කමිසය සහ පුහුණුවීම් කමිසය එළිදක්වනු ලැබිණ.

මාස් හෝල්ඩින්ස් ආයතනය ඉවත දමන ස්ලාස්ටික් බෝතල් වැනි දේ අමුද්‍රව්‍ය සඳහා යොදා ගනිමින් නවීණ තාක්‍ෂණය ද මුසුකරමින් මෙම කමිස නිර්මාණය කර තිබේ. මාස් හෝල්ඩින්ස් සමගාමගේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශිරේන්ද්‍ර ලෝරන්ස් මහතා පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිස සකස් කිරීම සඳහා මෙවර සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ අමුද්‍රව්‍ය භාවිතාකර ඇති බවයි.

“මෙහිදී අපි පොලියස්ටර් නිෂ්පාදනය සඳහා ඉවත දමන ප්ලාස්ටික් වතුර බෝතල් වැනි දේ යොදාගෙන පරිසර හිතකාමී පියවරක් ගත්තා. ඒ වගේම මෙම කමිස නිර්මාණයට ඉතාමත් දියුණු තාක්‍ෂණය යොදා ගත්තා” යැයි ලෝරන්ස් මහතා වැඩි දුරටත් පැවසීය.  

මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ පාස්කු ඉරිදා සිද්ධියත් සමඟ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් විශාල වියදමක් දරමින් ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක නොකරන බවයි.

“අපේ කණ්ඩායමට පස්වැනිදා රාත්‍රී ක්‍රිකට් ආයතනයෙන් විශේෂ භෝජන සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා. මාධ්‍ය ප්‍රචාරය අපි තරමකට ගෙන යනවා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තම කණ්ඩායමේ ක්‍රීඩකයන් ද භීතියට පත්ව සිටි බවයි.

“ලෝකයේම ජනතාව එම ප්‍රහාරයෙන් භීතියට පත්ව සිටියා වගේම අපේ කණ්ඩායමත් භීතියට පත්ව සිටියා. ක්‍රීඩකයන් ද විශ්වාසයක් නැති හැගීමක හිටියා. නමුත් පුහුණුවීම් ආරම්භ කළාට පසුව ඒ ගතිය අඩු වුණා. අපි එංගලන්තයට ගිහින් පුහුණුවීම් කළාම මානසිකත්වය හැදෙයි” යැයි දිමුත් වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට කෙන්ට් ආර්ඕ සිස්ටම්ස් සමාගම නියෝජනය කරමින් අෂිෂ් චාධා සහ මාස් හෝල්ඩින්ස් සමාගමේ ව්‍යාපාර අධ්‍යක්‍ෂ රෂ්මික පීරිස් යන මහත්වරු ද සහභාගි වූහ.

 

කෙන්ට් ආර්ඕ සිස්ටම්ස් ආයතනයේ අධ්‍යක්‍ෂ විනීට් කන්වර් සහ අෂිෂ් චාධා යන මහත්වරු දිමුත් කරුණාරත්නට පුහුණු කමිසය නිල වශයෙන් ප්‍රදානය කළ අවස්ථාව.

 

මාස් හෝල්ඩින්ස් සමගාමගේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශිරේන්ද්‍ර ලෝරන්ස් සහ එහි ව්‍යාපාර අධ්‍යක්‍ෂ රෂ්මික පීරිස් යන මහත්වරු දිමුත් කරුණාරත්නට තරග කමිසය නිල වශයෙන් ප්‍රදානය කළ අවස්ථාව.

(ඡායාරූප: නිමල්සිරි එදිරිසිංහ)


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය අනුග්‍රාහකයෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.