Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රුසියාවට වසර 4 ක තහනමක්

රුසියාවට වසර 4 ක තහනමක්

editorial - 2019 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තහනම් උත්තේජක සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණ වල දත්ත වෙනස් කිරීම හේතුවෙන් රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සියලුම ක්‍රීඩා සඳහා වසර 4 ක අන්තර්ජාතික තහනමක් පැනවීමට ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සිය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන වසරේදී ජපානයේ ටෝකියෝ නුවරදී පැවත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල, වසර 2022 දී කටාරයේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියද මෙන්ම 2022 දී පැවැත්වීමට නියමිත ශීත සෘතු ඔලිම්පික් උළෙලද රුසියානුවන්ට අහිමි කෙරේ. එහි අනුයාත ප්‍රතිඵලයක් ලෙසින් වසර 2008 සිට රුසියානුවන් විසින් දිනාගන්නා ලද  පදක්කම් 30 ක් පමණ ඔවුන්ට අහිමි වනු ඇත.

පසුගිය වසරේදී පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකයන් වූයේත් රුසියාවයි.

රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක ගනිමින් අන්තර්ජාතික තරග වලට සහභාගි වූයේ යයි වූ අර්බුදය වසර ගණනාවක් ඇදී ගියේය. එය නිමාවට පත්කරමින් ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සිය අද (9 වැනිදා) සිය තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

ස්විට්සර්ලන්තයේ ලුසෑන් නුවරදී රැස්වූ ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියේ විධායක කමිටුවට සාමාජිකයන් 12 දෙනකු ඇතුළත් වූ අතර එය ඒකමතික තීන්දුවක්ද විය.

“මොස්කව් නුවර පැවැති පරීක්‍ෂණාගාරවලදී සකස් කරන ලද වාර්තා හිතාමතාම වෙනස් කරන ලද ඒවා බව තහවුරු වී තිබෙනවා” යයි ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියේ නිගමනය විය.

“රුසයානු ක්‍රීඩාව තහනම් උත්තේජක වලින් දූෂිතයි කියන එක වසර ගණනාවක් තිස්සේ ප්‍රචලිත දෙයක්”යයි ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියේ සභාපති ශ්‍රීමත් ක්‍රෙග් රීඩි පැවසීය.

“තමන්ගේ වැරදි හදාගෙන, මත්ද්‍රව්‍ය භාවිතා නොකරන ක්‍රීඩාවට එක්වෙන්න, රුසියාවට අපි දෙන්න පුළුවන් හැම අවස්ථාවක්ම දුන්නා. ඒ ඔවුන්ගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන්....ඒත් ඒ ගොල්ලන් රැවටීමම කරමින් ඔවුන්ට ලැබුණු අවස්ථා සියල්ල ප්‍රතික්ෂේප කළා” යයිද ශ්‍රීමත් රීඩි පැවසීය.
 
මෙම වසර හතරක තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට රුසියාවට දින 21 ක් ඇතත් අභියාචනයකින් ඵලක් නොවන බව රුසියානු මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සියේ අධ්‍යක්‍ෂ යූරි ගානස් මහතා පවසයි.
මේ අතර රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමේ අවස්ථාව ඇතත් රුසියානු ධජය හෝ රුසියානු ජාතික ගීය භාවිතා කිරීම ඔවුන්ට අහිමි වනු ඇත.

..


අදහස් (0)

රුසියාවට වසර 4 ක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.