Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරයා මධුෂංක

රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරයා මධුෂංක

editorial - 2020 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ආරුගම්බේ සිට..)

ආරුගම්බේ මුහුදු තීරයේදී ඉකුත් සති අන්තයේ පැවැති රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලියේ තෙවැනි අදියර ජයගනිමින් මෙම වසරේ (2020) ජාතික ශූරයා බවට පත්වීමට වැලිගම ක්‍රීඩා සමාජයේ ලක්ෂිත මධුෂංක සමත් විය. මෙවර රළ මත ලිස්සා යෑමේ ජාතික තරගාවලියේ පළමු සහ දෙවැනි අදියර පිළිවෙලින් මාතරදී  සහ හික්කඩුවේදී පැවැති අතර එම අදියර දෙක ජයගනු ලැබුවේද ලක්ෂිත විසිනි. ඒ අනුව ඔහු මේ වසරේ ජාතික ශූරයා ලෙස සම්මාන දිනාගත්තේ ලකුණු 3000 කට හිමිකම් කියමිනි.

වැලිගම සිද්ධාර්ථ විදුහලේ ආදි සිසුවකු වන 21 හැවිරිදි ලක්ෂිත, ශ්‍රී ලංකාවේ රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරයා බවට පත්වූ දෙවැනි අවස්ථාව මෙයයි. මින් පෙර ඔහු 2018 වසරේදීද රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවට හිමිකම් කීවේය.

මාතරදී පැවැති තරගාවලියේදී සිවුවැනියා බවට පත්වූ ආරුගම්බේ ක්‍රීඩා සමාජයේ ලෙසිත ප්‍රභාත්, හික්කඩුවේ පැවැති තරගාවලියේදී සහ  ආරුගම්බේහි තරගාවලියේදී තෙවැනි ස්ථාන හිමිකරගනිමින් ලකුණු 2130 ක් ලබා ජාතික ශූරතාවලියේ අනු ශූරයා බවට පත්විය. ආරුගම්බේ ක්‍රීඩා සමාජයේම තවත් ක්‍රීඩකයකු වන ප්‍රනීත් සඳරුවන් මාතරදී පැවැති තරගාවලියේදී 24 වැනියා බවට පත් වුවද, හික්කඩුවේ පැවැති තරගාවලියේදී දෙවැනි ස්ථානයත්, මෙම තරගාවලියේදී සිවුවැනි ස්ථානයත් හිමිකර ගැනීමට සමත් විය. ඒ අනුව ලකුණු 1895 ක් ලබාගත් ඔහුට ජාතික ශූරතාවලියේ තෙවැනි ස්ථානය හිමි විය.  

රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාව සම්බන්ධ ජාතික සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය ඇතිව ලංකා ස්පෝර්ට්රයිසන් සමාගම විසින් ජාතික ශූරතාවලියේ තෙවැනි අදියර මෙන්ම ඊට සමගාමීව තවත් විවෘත තරගාවලියක්ද සංවිධානය කරන ලදි.

කොවිඞ්-19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේදී පැවැති පළමු ජාත්‍යන්තර තරගාවලිය එය වූ අතර ඊට විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 25 ක් පමණ සහභාගි වූහ. එහිදී විවෘත පිරිමි තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකාවේ අසංක සංජීව සමත් වූ අතර විවෘත කාන්තා තරගාවලිය ජය ගැනීමට දකුණු අප්‍රිකාවේ නිකිතා රොබ් සමත් වූවාය.  ඊශ්‍රාලයේ බාර් සහ ඕස්ටේ්‍රලියාවේ ලයෑම් මුරාඞ් පිරිමි තරගාවලියේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්වූ අතර ඇස්ටෝනියාවේ කෘට් ලීසන් සහ ශ්‍රී ලංකාවේ සුනාරා ජයමාන්න කාන්තා තරගාවලියේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.

ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංචාරක අමාත්‍යංශයේද සාමූහික දායකත්වය යටතේ පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම සහ ලින් ඒෂියා හෝල්ඩින්ග්ස් සමාගම කටයුතු කළේය.

 

 


අදහස් (0)

රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරයා මධුෂංක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.