Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට

මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට

ශානුක අරවින්ද - 2019 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාලදිවයිනේ අඞ්ඩු නගරයේදී මේ දින වල පැවැත්වෙන දකුණු ආසියානු කළාපීය වයස 21 න් පහළ බැඞ්මින්ටන් ශූරතාවලියේ මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අවසන් මහ තරගයේදී ඉන්දියාව හමුවේ තරග 3-1 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට එහි අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති අවසන් තරග වාරය පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ලෙස තරග 5 කින් සමන්විත විය. එහිදී පිරිමි කේවල තරගය පමණක් ජයගත් ශ්‍රී ලංකාව කාන්තා කේවල, පිරිමි යුගල සහ කාන්තා යුගල යන ඉසව් ඉන්දියාව හමුවේ  පරාජයට පත්විය. ඒ වන විටත් ඉන්දියාවට 3-1 ක ජයක් හිමව තිබීම හේතුවෙන් මිශ්‍ර යුගල තරගය නොපැවැත්විණ.
 
පිරිමි කේවල තරගයේදී වට 2-0 ක් ලෙස ඉන්දියාවේ චරන් කෝයා පරාජය කිරීමට ශ්‍රී ලංකාවේ රන්තුෂ්ක සසිඳු සමත් විය. එම තරගයේ පළමු වටය ලකුණු 21-17 ක් ලෙස ජයගත් සසිඳු දෙවැනි වටය ජයගත්තේද ලකුණු 21-17 ක් ලෙසිනි.

කාන්තා කේවල තරගයේදී මාන්සි සිං හමුවේ වට 2-0 ක් ලෙස හසාරා විජේරත්න පරාජයට පත් වූ අතර පිරිමි යුගල තරගයේදී සරත් දුන්නා සහ චරන් කෝයා හමුවේ දුමිඳු අබේවික්‍රම සහ රන්තුෂ්ක සසිඳුද, දීප්ෂිඛා සිං සහ මාන්සි සිං හමුවේ ජනනුවනි අමන්දා සහ හසිනි අම්බලන්ගොඩද පරාජයට පත් වූහ.

‘බී’ කාණ්ඩය යටතේ මිශ්‍ර යුගල ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම, එහි මූලික වටයේදී නේපාලය, මාලදිවයින සහ බංග්ලාදේශය යන රටවලට එරෙහිව තරග 5-0 ක ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
 
ඉන්දියාව මිශ්‍ර යුගල ඉසව්වේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ‘ඒ’ කාණ්ඩයේ මූලික වටයේ තරගවලදී පාකිස්තානයට සහ භූතානයට එරෙහිව තරග 5-0 ක ජයග්‍රහණ වාර්තා කරමිනි.
 
යුක්ති රංගන මහතා මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර කාංචන විමලසූරිය මහතා කළමනාකරු ලෙසත්, තරංගා විමලසූරිය මහත්මිය කාන්තාවන් භාර නිලධාරිණිය ලෙසත් තරගාවලියට එක්ව සිටිති.
 
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් තරග වාරය
 
පිරිමි කේවල
රන්තුෂ්ක සසිඳු (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස චරන් කෝයා (ඉන්දියාව) පරාජය කරන ලදී. (21/17, 21/17)
 
කාන්තා කේවල
මාන්සි සිං (ඉන්දියාව) විසින් වට 2-0 ක් ලෙස හසාරා විජේරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී. (21/08, 21/17)
 
පිරිමි යුගල
සරත් දුන්නා සහ චරන් කෝයා (ඉන්දියාව) විසින් වට 2-1 ක් ලෙස රන්තුෂ්ක සසිඳු සහ දුමිඳු අබේවික්‍රම (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී. (17/21, 21/19, 21/17)
 
කාන්තා යුගල  
දීප්ෂිඛා සිං සහ මාන්සි සිං (ඉන්දියාව) විසින් වට 2-0 ක් ලෙස ජනනුවනි අමන්දා සහ හසිනි අම්බලන්ගොඩ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී. (21/19, 24/22)


අදහස් (0)

මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.