Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මැජික් මිලියන් කුසලාන අල්කසබාට

මැජික් මිලියන් කුසලාන අල්කසබාට

editorial - 2021 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

නුවරඑළියේ ධාවන පථයට පිවිසෙන අසුන් අතුරින් රැජන තමන් බව සනාථ කරමින් මැජික් මිලියන් කුසලාන තරගය ජයගැනීමට අල්කසබා වෙළඹ සමත් වූවාය. අල්කසබා මැජික් මිලියන් කුසලානය ජයගත් දෙවැනි අවස්ථාව මෙයයි. මෙම වසරේදී (2021) ඇය එම ජයග්‍රහණය සඳහා මෙහෙයවනු ලැබුවේ ජේ. චිනෝයි විසිනි. මින් පෙර 2018 වසරේදීද අල්සකබා මැජික් මිලියන් කුසලානයට හිමිකම් කීවාය. 

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය යටතේ දැඩි සෞඛ්‍ය නීති අනුගමනය කරමින් කොළඹ රාජකීය තුරඟ තරග සමාජය විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදි. තරගාවලිය නුවරඑළිය තුරඟ පිටියේදී පැවැත්විණ. 

ඩේලි මීරර් කුසලාන තරගයේදී කිසිවකු බලාපොරොත්තු නොවූ අයුරින් ක්‍රාබි අසු ජයග්‍රහණය කරා මෙහෙයවීමට කිරන් නායිදු සමත් විය. මීටර් 1400 ක දුරකින් සමන්විත වූ එම තරගයේ අවසන් මීටර් 100 දක්වාම අසුන් රැළ එක පොකුරට තරග අවසානය කරා ඇදී ආහ. කෙසේ වුවත් අවසන් මොහොතේදී ඔවුන් අතරින් ඉදිරියට පැමිණි ක්‍රාබි තරගය ජයගත්තේ වේටිං ෆෝ ග්ලෝරි අසු සහ ගෝල්ඩ් ගර්ල් වෙළඹ පිළිවෙලින් එම තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට ඇද දමමිනි. 

ආණ්ඩුකාර කුසලාන තරගාවලියේදී වෙස්ටන් වින්ඩ් අසුට පමණක් දෙවැනි වූ අල්සකබා මෙම තරගාවලියේදී නැවතත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙමින් මැජික් මිලියන් කුසලාන තරගය ජයගත්තාය. ආණ්ඩුකාර කුසලාන තරගාවලියේදී ජය ලැබූ අසුන් අතරින් මෙම තරගාවලියේදීද ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූයේ‘ අනදර් ඒස්’ නම්වූ තුරඟා පමණි. මැජික් මිලියන් තරගාවලියේ සෙසු තරග ජයගැනීමට විගරස්, ස්ටෝමොන්ට් සහ ක්‍රාබි යන අශ්වයෝ සමත් වූහ. 

නරඹන්නන් නොමැති ධාවන පථයක තරග වැදීම තරමක් වෙනස් අත්දැකීමක් වුවත්, සුපුරුදු දස්කම් දක්වමින් මීටර් 1600 ක දුරකින් සමන්විත වූ මැජික් මිලියන් කුසලාන තරගය ජයගැනීමට අල්කසබා සමත් වූයේ ජේ. චිනෝයිගේ දක්‍ෂ මෙහෙයවීම තුළිනි. ස්පිරිටඩ් ටච් සහ වෙස්ටන් වින්ඩ් යන අසුන් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට ඇද වැටිණ. එඩ්වඩ්ස් අශ්වගාලට අයත් වෙලඹක් වන අල්කසබාගේ පුහුණුකරු ලෙස එස්.ඩී. මහේෂ් මහතා කටයුතු කරයි. 

ආණ්ඩුකාර කුසලාන තරගාවලියේදී තරග 2 ක් ජයගනිමින් වැඩි ගෞරව දිනාගත් ජයරත්න අශ්වගාලට මැජික් මිලියන් තරගාවලියේදී ජයගැනීමට හැකි වූයේ එක් තරගයක් පමණි. එහිදී මීටර් 1600 කින් සමන්විත වූ ස්පෝර්ටින් ස්ටාර් කුසලාන තරගය ජයගැනීම සඳහා අනදර් ඒස් අසු මෙහෙයවනු ලැබුවේ විවේක් විසිනි. අනදර් ඒස් අසුට තියුණු තරගයක් දුන් සිල්වර් ස්ටී්‍රක් අසු එහි දෙවැනි ස්ථානයටත්, සන්තෝෂ් අසු එහි තෙවැනි ස්ථානයටත් පත්වූහ. 

තරගාවලියේ පළමු තරගය වූ මෝටර් ප්ලස් කුසලාන තරගය ජයගැනීම සඳහා විගරස් අසු මෙහෙයවීමට එස්. දිනේෂ්රාජ් සමත් වූ අතර මීටර 1600 ක දුරකින් සමන්විත වූ එම තරගයේදී විගරස්, ඔලිව් සහ ඔනෝරියස් යන අසුන් අතර තුන්කොන් සටනක් නිර්මාණය විය. කෙසේ වුවත් අවසානයේදී ඔලිව් අසු දෙවැනියා ලෙසත්, ඔනෝරියස් අසු තෙවැනියා ලෙසත් විගරස් අසුට පසුපසින් තරගය නිමා කළහ. 

මෙවර තරගාවලියේදී තමා ලැබූ දෙවැනි ජයග්‍රහණය අත්කර ගැනීම ජේ. චිනෝයි අසරුවා සමත් වූයේ ශ්‍රී ලංකා රක්ෂණ කුසලාන තරගය ජයගැනීම සඳහා ස්ටෝමොන්ට් අසු මෙහෙයවිමිනි. මීටර් 1400 ක දුරකින් සමන්විත වූ එම තරගයේ අවසන් මොහොත දක්වාම ජයග්‍රාහකයා කවුරුන්දැයි නිගමනය කිරීමට අපහසු වූ අතර ස්ටෝමොන්ට් සහ නයිට් කිං යන අසුන් ඉතාමත් සුලු පරතරයක් තබාගනිමින් තියුණු අවසානයක් කරා ලඟා වූහ. කෙසේ වුවත් එඩ්වඩ්ස් අශ්වගාලට මෙවර තරගාවලියේ දෙවැනි ජයත් අත්කර දෙමින් නයිට් කිං අසුගේ තත්පර දශමයක දෙකක පමාවෙන් එම තරගය ජයගැනීමට ස්ටෝමොන්ට් අසු සමත් විය. 

තරග ප්‍රතිඵල

මැජික් මිලියන් කුසලාන තරගය (මීටර් 1600)

1. අල්කසබා - ජේ. චිනෝයි - එඩ්වඩ්ස් අශ්වගාල
2. ස්පිරිටඩ් ටච් - කේ.අනීල් - ෆියර්ලස් අශ්වගාල
3. වෙස්ටන් වින්ඩ් - විවේක් - ගාමිණී ජයරත්න මහතා සහ එම මහත්මිය.

ඩේලි මිරර් කුසලාන තරගය (මීටර් 1400)

1. ක්‍රාබි - කේ. නායිදු - ධනවර්දන ගුරුගේ මහතා
2. වේටිං ෆෝ ග්ලෝරි - ආර්. වයිභාව් - හසංග ජයරත්න මහතා
3. ගෝල්ඩ් ගර්ල් - ජේ. චිනෝයි - එඩ්වඩ්ස් අශ්වගාල

ශ්‍රී ලංකා රක්ෂණ කුසලාන තරගය (මීටර් 1400)

1. ස්ටෝමොන්ට් - ජේ. චිනෝයි - එඩ්වඩ්ස් අශ්වගාල
2. නයිට් කිං - වී. යෝගරාජ් - නිෂාරා ජයරත්න මහත්මිය
3. ටෝපිඩෝ - කේ. සංජීවන් - ෆියර්ලස් අශ්වගාල

මෝටර් ප්ලස් කුසලාන තරගය (මීටර් 1600)

1. විගරස් - එස්. දිනේෂ්රාජ්  - අජන්ත ද සොයිසා මහතා
2. ඔලිව් - කේ. සංජීවන් - ෆියර්ලස් අශ්වගාල
3. ඔනෝරියස්-  කේ. අනීල් - ෆියර්ලස් අශ්වගාල

ස්පෝර්ටින් ස්ටාර් කුසලාන තරගය (මීටර් 1600)

1. අනදර් ඒස් - විවේක් - හසංග ජයරත්න මහතා
2. සිල්වර් ස්ටී්‍රක් - එල්. දයාලන් - රම්සිස් පීටර් ප්‍රනාන්දු මහතා
3. සන්තෝෂ් - ජේ. චිනෝයි - එඩ්වඩ්ස් අශ්වගාල  


අදහස් (0)

මැජික් මිලියන් කුසලාන අල්කසබාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.