Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මල්ලවපොර සම්මේලනයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යංශය උසාවි යයි

මල්ලවපොර සම්මේලනයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යංශය උසාවි යයි

නාමල් පතිරගේ - 2020 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිදුවී ඇතැයි කියන මූල්‍යමය වංචා හා වෙනත් නීතිවිරෝධී කටයුතු කීපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ වසර 2017-20 පාලන සමයේ කටයුතු කළ නිලධාරීන් පිරිසකට එරෙහිව පොලිස් වංචා දූෂණ ඒකකය විසින් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ. ඒ සඳහා මැදිහත්වීම් කර ඇත්තේ එහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කළ ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති ඒකකයයි.

චෝදනාලාභී නිලධාරීන් අතර මල්ලවපොර සම්මේලනයේ හිටපු ප්‍රධානීන් කීපදෙනෙක්ද වෙති.

කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ ලේකම් එම්.එම්. ලක්‍ෂ්මන් මහතා විසින් චෝදනා රැසක් නගමින් හිටපු ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියේය.

පසුව ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඇමැතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමලත් සහකාර ක්‍රීඩා අධ්‍යක්‍ෂ කේ.එස්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල (අභියාචනා) කමිටුවක් පත් කරන ලදි.

එහිදී කමිටුවේ නිගමනය වූයේ සම්මේලනයේ 2017 වසරට අදාළ විගණන වාර්තාව වසර 2019 ජුනි 26 වැනිදා දක්වාම මහසභාවේ අනුමත නොවීමෙන් හා එම වසරට අදාළ ගිණුම් වාර්තාව විගණනය සඳහා ප්‍රමාදව ඉදිරිපත් කිරීමෙන් සම්මේලන ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි. කමිටුවේ නිර්දේශය ලෙස දන්වා තිබුණේ සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධන ක්‍රියාවලිය නියමානුකූලව සිදුවී නොමැති බැවින් ඒ පිළිබඳ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තවදුරටත් සොයා බලා කටයුතු කිරීම සුදුසු බවයි.

කෙසේවුවත් මල්ලවපොර සම්මේලනය අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කපිතාන් රංජිත් මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව තවදුරටත් විමර්ශනයක් කරමින් සිටියි. පැමිණිල්ල ඉදිරිපත් කළ මල්ලවපොර සම්මේලනයේ හිටපු උප සභාපතිවරයකු වන එච්.එම්. ලක්‍ෂ්මන් මහතා ක්‍රීඩා ඇමැතිවරයාට නොබෝදා ලිපියක් යොමුකරමින් කියා සිටින්නේ ඉදිරියේදී අධිකරණයේ ඒ සම්බන්ධයෙන් නඩුවක් විභාගයට ගැනීමට නියමිත බැවින් එය අවසන් වන තුරු මල්ලවපොර සම්මේලනයේ නිලවරණය (2020-22) අත්හිටුවිය යුතු බවයි.

මූල්‍යමය චෝදනා, සම්මේලනයේ ව්‍යවස්ථාව නීති විරෝධීව සංශෝධනය කිරීම, ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝග පැහැර හැරීම, එහි නිලධාරීන් නොමඟ යැවීම, සාග් මල්ලවපොර සංචිතයක් සඳහා ක්‍රීඩා පාවහන් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවයක් පිළිබඳ චෝදනාවන් සම්බන්ධයෙන්ද පැමිණිලිකරු කරුණු ඉදිරිපත් කර තිබේ.

මේ අතර නේපාලයේ පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමේ (ජාතික) පුහුණුකරු ලෙස කටයුතු කළ ඒ.එස්.එස්.ඩී. කුමාර මහතා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් දන්වා ඇත්තේ සාග් මල්ලවපොර සංචිතයේ ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් සඳහා ක්‍රීඩා පාවහන් මිලදී ගැනීමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති බවයි. එමගින් වැඩිදුරටත් ඔහු දක්වා ඇත්තේ මල්ලවපොර පාවහන් යුගලක් ක්‍රීඩකයකුට අමාත්‍යාංශය රුපියල් 15,000ක් බැගින් වෙන් කළද සාග් සංචිතයේ ක්‍රීඩකයන්ට හා පුහුණුකරුවන්ට එහිදී ලබා දී ඇත්තේ එම මිලට බොහෝ අඩු වටිනාකමකින් යුත්, මල්ලවපොර ක්‍රීඩාවට කිසිසේත් නුසුදුසු ජවන හා පිටිය ඉසව් සඳහා යොදාගන්නා පාවහන් බවයි.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසද ඔහු ක්‍රීඩා ඇමැතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.  පසුගිය අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණ පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් නාමලේඛනයේ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයද ඇතුළත් ව තිබේ.

 


අදහස් (0)

මල්ලවපොර සම්මේලනයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යංශය උසාවි යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.