Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පිහිනුම් ක්‍රීඩාවේ අන්තර්ජාතික තහනම හෙට අනිද්දාම ඉවත් කෙරෙන ලකුණු

පිහිනුම් ක්‍රීඩාවේ අන්තර්ජාතික තහනම හෙට අනිද්දාම ඉවත් කෙරෙන ලකුණු

නාමල් පතිරගේ - 2020 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා නිල පරිපාලනයට අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනය වසර කීපයක් තිස්සේ පනවා තිබෙන තහනම ඉවත් කිරීම සඳහා කරුණු සලකා බලන බව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ. වත්මන් සභාපති නේතෲ නානායක්කාර මහතා අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයට යොමු කළ අභියාචනාවකට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමය මෙම දැනුම්දීම කර තිබේ.

වසර 2018 නොවැම්බර් 16 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් ඒ වෙනුවට දේශීය ජල ක්‍රීඩා පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය අතුරු කමිටුවක් පත් කළේය. මෙම ක්‍රියාදාමය රජයේ අනිසි මැදිහත්වීමක් ලෙස අවධාරණය කළ අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමය එතැන් සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවට තහනමක් පැනවීය. එමගින් ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ අතුරු කමිටුව ස්ථාපිත කිරීමට පෙර ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ විධායක සභාව තවදුරටත් ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා පරිපාලනයේ නිල මැදිහත්කරු ලෙස තමන් පිළිගන්නා බවයි.

ඒ වනවිට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස කටයුතු කළේ මහින්ද ලියනගේ මහතායි. එස්. බී. එම් යහම්පත් මහතා එහි ප්‍රධාන ලේකම් ධුරයේ කටයුතු කළේය.  අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමයේ නිල වෙබ් අඩවියට අනුව ඊයේ (20) වනවිටත් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා හා ප්‍රධාන ලේකම්වරයා ලෙස තවදුරටත් නිල පිළිගැනීම හිමිව තිබුණි ඔවුන් දෙදෙනාටය.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපති නේතෲ නානායක්කාර මහතා පසුගිය අගෝස්තු 18 වැනිදා අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයේ විධායක අධ්‍යක්ෂ කොනල් මැකියුලෙස්කියු මහතා වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටියේ ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය ඊට මැදිහත් වූ සියලු පාර්ශ්වවල එකඟතාවයෙන් විසඳා ගත් බැවින් ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා ජාත්‍යන්තර තහනම ඉවත් කිරීමට අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙසයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර ජල ක්‍රීඩා සම්මේලනය ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා පරිපාලනයේ වත්මන් ප්‍රධානියාට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට තමන් සුදානම් බවයි.

ඒ සඳහා මූලික පියවරක් ලෙස අතුරු කමිටුව ක්‍රියාත්මක කිරීමට පෙර කටයුතු කළ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ විධායක සභාවේ ප්‍රධානීන් හා එහි වත්මන් ප්‍රධානීන්ගේ එකඟතාවයෙන් ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා පරිපාලනයේ අර්බුදය අවසන් වූ බවට ලිපියක් ආසියානු ජල ක්‍රීඩා සම්මේලනයේ සම්බන්ධීකරණය ද ලබා ගනිමින් තමන්ට යොමු කරන ලෙසද අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමය විසින් දන්වා තිබේ. ඒ අනුව එම ලිපිය මේ වනවිටත් ආසියානු ජල ක්‍රීඩා සංගමය හා අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයට යොමු කර ඇති බව නේතෲ නානායක්කාර  මහතා පැවසීය.

“මෙම ලිපියට එවකට ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරය දැරූ මහින්ද ලියනගේ හා ලේකම් ධුරය දැරූ එස්.බී.එම්. යහම්පත් යන මහත්වරුන්ගේද සහයෝගය ලබා ගත්තා. ලිපියට ඔවුන් දෙදෙනා හා මමත් සංගමයේ වත්මන් ලේකම්වරයාත් අත්සන් තැබුවා. එයින් අප පාර්ශ්ව දෙකට දැනුම් දුන්නා ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා සම්බන්ධයෙන් උද්ගතව තිබූ පරිපාලන අර්බුදය නිමාවට පත් කරගෙන තිබෙන වග.” යයිද ලංකාදීප කළ විමසීමකදී නේතෘෘ නානායක්කාර මහතා පැවසීය.

ඒ අනුව තව නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා පරිපාලනයට පනවා තිබෙන තහනම ඉවත් කෙරෙනු ඇතැයිද නේතෲ නානායක්කාර මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාද පසුගියදා අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනයට ලිපියක් යොමු කර තිබුණි.
ජල ක්‍රීඩා සංගමයේ එවකට විධායක සභාවේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් එවකට හිටපු ක්‍රීඩා ඇමැති දායාසිරි ජයසේකර මහතා විසින් පත් කරන ලද ජල ක්‍රීඩා අතුරු කමිටුවේ සභාපති ධුරය දැරුවේ එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ධුරයේ කටයුතු කළ රුවන් සත්කුමාර මහතාය. එම අවධියේදී ශ්‍රී  ලංකාව සහභාගි වීමට සූදානම් වූ ජාත්‍යන්තර පිහිනුම් තරගාවලි හා ජාත්‍යන්තර වැඩසටහන් කීපයකටද අන්තර්ජාතික ජල ක්‍රීඩා සංගමය සම්බාධක පැනවීය.

කෙසේ වුවත් නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසුවේ තහනමට අදාළ පසුගිය වසරක පමණ කාලයක් තුළදී එය ශ්‍රී ලංකාවට එතරම් බලපෑමක් නොකළ බවයි. ඊට හේතුවී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ සිට උද්ගත වූ ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරට නියමිතව තිබූ ජාත්‍යන්තර පිහිනුම් තරගාවලි ගණනාවක් කල් දැමීමට හා අත්හිටුවීමට අන්තර්ජාතික පිහිනුම් සම්මේලනය ගත් තීරණයයි.

19 වැනි ලෝක ජල ක්‍රීඩා ශූරතා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ වසර 2022 මැයි 13 වැනිදා සිට 29 වැනිදා දක්වා ජපානයේ ෆුකෝකා නගරයේදීය. ඒ අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන වසරේ (2021) ජුලි 23 සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන්නේද ජපානයේ ටෝකියෝ නගරයේදීය.

 


අදහස් (0)

පිහිනුම් ක්‍රීඩාවේ අන්තර්ජාතික තහනම හෙට අනිද්දාම ඉවත් කෙරෙන ලකුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.