Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට යති

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට යති

නාමල් පතිරගේ - 2019 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ ලිවර්පූල් නගරයේ දී ලබන ජූලි 12 වැනිදා ආරම්භ වන 15 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය. ජූලි මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා ලීවර්පූල්හිදී පැවැත්වෙන ලෝක දැල්පන්දු තරගාවලියට පෙර ‘ලන්ඩන්’ නුවර දී පුහුණු තරග කිහිපයකට සහභාගි වීමේ අපේක්‍ෂාවෙන් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම කල් ඇතිවම එංගලන්තය බලා පිටත්ව ගියේය.

ආසියානු කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් චතුරංගනී ජයසූරිය ලෝක තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙයි. තිලකා ජිනදාස මෙනවිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස කටයුතු කරයි.

ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර පැවැත්වෙන දැල්පන්දු ලීග තරගාවලියකට සහභාගි වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ හා උසම ක්‍රීඩිකාව වන 37 හැවිරිදි තර්ජනී සිවලිංගම් මේ වන විට දිවයිනට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටියි. ඇය දැනට ලෝකයේම උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙසත් අඩි (6 අඟල් 10) සැලකේ.

මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරග සංචාරය වෙනුවෙන් පෙර පුහුණුවීම්වල සිට ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 10කට වැඩි මුදලක් වැය කර තිබේ. ඒ අතර අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය අමාත්‍යාංශයෙන් ප්‍රදානය කළ රුපියල් මිලියන 2.5 ක මුදලක් ද පෙර පුහුණුවීම් සඳහා යොදාගෙන තිබේ. මේ අතර ඇමැති නවීන් දිසානායක මහතාගේ මැදිහත් වීමෙන් සිලෝන්-ටී අනුග්‍රහය යටතේ කණ්ඩායමේ පෙර පුහුණුවීම් සඳහා රුපියල් මිලියන 5 ක මුදලක් ලැබී තිබේ.

සිංගප්පූරුවේ දී පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති 11 වැනි ආසියානු දැල්පන්දු ශුරතා තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගැනීමෙන් පසුව ජාතික දැල්පන්දු කණ්ඩායමට අනුග්‍රහයන් රැසක් ලැබිණ. ආසියානු දැල්පන්දු කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩිකාවක් හැර සෙසු සියලුම ක්‍රීඩිකාවන් ලෝක කුසලාන තරග සංචාරයටත් තේරී සිටියි.

ඔවුන්ගේ බොට්ස්වානා සංචාරය සඳහා ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදීමෙන් අනුග්‍රහය දැක්වීය.
ආසියානු කුසලාන දිනා ගැනීම වෙනුවෙන් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මොරටුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාටම නිවාස පරිත්‍යාග කිරීමටත් පියවර ගෙන තිබිණ.

ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්  අනුව මේ වන විට 19 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව ජූලි 12 වැනිදා සිම්බාබ්වේට එරෙහිව ලෝක කුසලාන මූලික වටයේ සිය පළමු තරගයට සහභාගි වෙයි.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියක වන ටි්‍රක්‍ෂි නානායක්කාර මහත්මිය ලෝක ශූරතා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස කටයුතු කරයි. හිටපු උප භාණ්ඩාගාරිකවරියක වන පුෂ්පා එලුවාවිල මහත්මිය සහය කළමනාකාරිනිය ලෙස සංචාරයට එක්ව සිටී. වෛද්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය දමින්දා අත්තනායක මහත්මියයි. මේ අතර ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සම්භාහකවරයා ලෙස පිරිමි අයකුගේ සේවය ලබා ගැනීම පිළිබඳව දැල්පන්දු ක්‍ෂේත්‍රයේ ඇතැම් අංශ කනස්සල්ල පළකර ඇතැයි ද වාර්තා වේ.

ලෝක කුසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නොබෝදා ‘බොට්ස්වානා’ රාජ්‍යයේ දී පුහුණු තරග සංචාරයකට ද සහභාගි විය. ඊට පෙර දැල්පන්දු සම්මේලනය පසුගිය අප්‍රේල් මාසයේ දී කොළඹ දී කෙන්යාව හා මලයාසියාව සහභාගි කර ගනිමින් තුන්කොන් පුහුණු ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීමට ද කටයුතු කළේය.

ලෝක දැල්පන්දු තරගාවලියට සමගාමීව ජූලි මස 10 සහ 11 යන දිනවල ලිවර්පූල් හිදී පැවැත්වෙන අන්තර්ජාතික දැල්පන්දු සම්මේලනයේ මහ සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා හා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු ලේකම් ජයන්ති සෝමසේකරම් ද සිල්වා මහත්මිය සහභාගි වීමට නියමිතය.


අදහස් (0)

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.