Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තරග පාවාදීමේ චෝදනා හතක් නිදහස්

තරග පාවාදීමේ චෝදනා හතක් නිදහස්

නාමල් පතිරගේ - 2020 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


නේපාලයේ දී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ දී ක්‍රීඩා ඉසව් හතක සහභාගිත්වයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් හා ක්‍රීඩකයන්ට එල්ලවූ තරග පාවාදීමේ හා අනෙකුත් චෝදනාවලින් නිදොස් කිරීමට ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන ඇතුළත් වාර්තාව මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර ඇතැයි ද වාර්තාවේ. එම පොලිස් විමර්ශන ඒකකය ඒ සම්බන්ධයෙන් සිය නිගමන හා නිර්දේශ ඇතුළත් වාර්තාව අනුව 13 වැනි සාග් ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග පවාදීමේ චෝදනා ලැබීමට හේතු වූ කරුණුවලට පදනමක් නැත. 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ දී බොක්සිං, බර ඉසිලීම, කෝ-කෝ වුෂු, වොලිබෝල්, පැසිපන්දු හා පිහිනුම් යන ක්‍රීඩා ඉසව්වලට තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම් හා ක්‍රීඩකයන් පිරිසකට මෙලෙස තරග පාවාදීමේ චෝදනා එල්ල විය.

නේපාලයේ කත්මන්ඩු නුවර දී වසර 2019 දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා (දකුණු අසියානු) රටවල් හතකගේ සහභාගිත්වයෙන් 13 වැනි සාග් ක්‍රීඩා උළෙල පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩා ඉසව් 26ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 600කට ආසන්න පිරිසක් සහභාගි කළහ.

ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය සම්බන්ධයෙන් ග්‍රෙගරි ද සිල්වා විමර්ශන කමිටු වාර්තාව ඇතුළුව ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සැපයූ වාර්තා ඒ සඳහා පදනම් කරගත්තේය.

ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම අවසන් පූර්ව තරගයේ දී  සත්කාරක නේපාලයට පරාජය වීම, බොක්සිං තරග සහභාගිත්වයේ දී ජාතික තේරීම් කමිටුව නොසලකා හරිමින් ක්‍රීඩකයන් දෙදෙනකු මාරු කිරීම, පිහිනුම් (කාන්තා) ඉසව්වේ දී එවැනිම ආකාරයෙන් ක්‍රීඩිකාවන් නිර්දේශ කිරීම, පැසිපන්දු (පිරිමි) ඉසව්වට තරග වැදීමේ දී පුහුණුකරුවන්ගේ වැරදි මැදිහත්වීම් ඇතුළුව කරුණු කිහිපයක් මුල්කර ගනිමින් එම ඉසව් ශ්‍රී ලංකා සහභාගිත්වයේදී තරග පාවාදීමේ චෝදනා එල්ල විය.

කෙසේ වුවත් පාපැදි ක්‍රීඩා ඉසව්වේ දී ශ්‍රී ලංකා සහභාගිත්වයේ දී තරග පාවාදීමේ චෝදනාවක් එල්ල විය. ක්‍රීඩා අමාත්‍යාංශයේ පැමිණිල්ලට අනුව එය වෙනමම විභාගයට ගත් අතර එහිදී පැන නැගුණු කරුණු ආශ්‍රිතයෙන් ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ඉදිරි විමර්ශන සඳහා මේ වනවිට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු ප්‍රධානීන් තිදෙනකුගෙන් වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබා ගැනීමට කටයුතු කර තිබේ.

13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 40ක් දිනා තෙවැනි ස්ථානයට පත්විය. එහිදී මතභේදයට තුඩුදුන් අදාළ ක්‍රීඩා ඉසව් සහභාගීත්වයේදී ශ්‍රී ලංකාවට බොක්සිං ක්‍රීඩාවෙන් එක් රන් පදක්කමක් ඇතුළුව රිදී හා ලෝකඩ පදක්කම් 11ක් ද, බර ඉසිලීමෙන් රන් පදක්කම් දෙකක් ඇතුළුව රිදී හා ලෝකඩ පදක්කම් 11ක් ද, වුෂු ඉසව්වෙන් රන් පදක්කම් දෙකක් ඇතුළුව රිදී හා ලෝකඩ පදක්කම් 13ක් ද, පැසිපන්දු ක්‍රීඩාවෙන් රිදී පදක්කම් දෙකක් හා එක් ලෝකඩ පදක්කමක් ද පිහිනුම් ක්‍රීඩාවෙන් රන් පදක්කම් හතක් ඇතුළුව රිදී හා ලෝකඩ පදක්කම් 36ක් ද වොලිබෝල් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම් දෙකක් ද හිමිකර ගත්තේය.

කෙසේ වුවත් විමර්ශනයට ලක්වූ කෝ-කෝ ක්‍රීඩා ඉසව්වේ සහභාගිත්වයේදී ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනා ගැනීමට අපොහොසත් විය.
2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනත යටතේ වන වරදක් සම්න්ධයෙන් විමර්ශන බලතල සහිත විශේෂ පොලිස් විමර්ශන ඒකකය පසුගිය වසරේ පෙබරවාරි 11 වැනිදා ස්ථාපිත කරනු ලැබීය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන එම පොලිස් ඒකකයේ ප්‍රධාන කාර්යාලය සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ ස්ථාපිත කර තිබේ.

 හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශයක් පදනම් කරගනිමින් වසර 2011 පැවැති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග පාවාදීමේ සිදුවීමකට සම්බන්ධ වූයේ දැයි සෙවීම සඳහා ද ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය විමර්ශනයක් ආරම්භ කළ ද එය අතරමග අත්හිටුවනු ලැබීය.

එම අවස්ථාවේදී එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා, එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර, එහි ක්‍රීඩා කළ මහේල ජයවර්ධන යන මහත්වරුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගන්නා අතර එම විමර්ශන කටයුතු අත්හිටුවනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පැවැසුවේ එතෙක් ඒ සම්බන්ධයෙන් ලබාගත් ප්‍රකාශයන් ආශ්‍රිතයෙන් මෙම සිදුවීම තරග පාවාදීමක් ලෙස ගැනිය හැකි ද එසේ නම් තවදුරටත් විමර්ශන කටයුතු පවත්වාගෙන යාමට හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් කළ විමසුමකට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැති බවයි.

මෙම සිදුවීමට අදාළ විමර්ශන ඒ හේතුවෙන් අවසන් වී නැතැයි ද ඔහු පැවැසීය. පාපැදි ක්‍රීඩා තරග පාවාදීමේ සිදුවීමට අදාළ විමර්ශනයේදී මේ වනවිට අන්තර් ජාතික පාපැදි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානය වුණු බව පැවැසෙන පුහුණු පාපැදි දෙකක් සිය භාරයට ගැනීමට ද ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය කටයුතු කර තිබේ.

මෙම ඒකකය ස්ථාපිත කළ දා පටන් ක්‍රීඩා ක්‍ෂේත්‍රයන්ට අදාළ පැමිණිලි 100කට ආසන්න ගණනක් ලැබී තිබේ. එහෙත් පදනමක් තහවුරු නොවීමෙන් එම පැමිණිලි අතිවිශාල ප්‍රමාණයක් බාර ගැනීමකින් තොරවම ප්‍රතික්ෂේප කළ බවත් ජගත් ෆොන්සේකා මහතා පවසයි.


අදහස් (0)

තරග පාවාදීමේ චෝදනා හතක් නිදහස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.