Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික ඔලිම්පික් කමිටුවෙන් අමාත්‍යංශය මිලියන 100 ක් ඉල්ලයි

ජාතික ඔලිම්පික් කමිටුවෙන් අමාත්‍යංශය මිලියන 100 ක් ඉල්ලයි

නාමල් පතිරගේ - 2019 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහා භාණ්ඩාගාරයෙන් තමන්ට ලබාදුන් රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන සාග් ක්‍රීඩා උළෙලේ වියදම් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදීම සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව අවසන් තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සකස් කරන ලද යෝජනාවලියකට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිවී තිබේ.
 
පාර්ලිමේන්තුවෙන් සිය කමිටුවේ ව්‍යාපෘති සඳහා අනුමත කළ මුදලක් කැබිනට් මණ්ඩල සංදේශයක් මගින් ක්‍රීඩා අමාත්‍යංශය ලබා ගැනීමට ප්‍රයත්න දැරීම කෙතරම්දුරට ගැළපෙන කටයුත්තක් ද පිළිබඳව ඔලිම්පික් කමිටුවේ දැඩි අවධානයට යොමුවී තිබේ.

පාර්ලිමේන්තුවේ යෝජනාවකින් ජාතික ඔලිම්පික් කමිටුවට මහා භාණ්ඩාගාරයෙන් අනුමත මුදලක් ක්‍රීඩා අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ලබා ගැනීමට තැත් කිරීම අනුමත කළ නොහැකි බව ඔලිම්පික් කමිටුවට මේ වනවිට එහි උපදේශකයන් විසින් පෙන්වා දී තිබේ.

13 වැනි සාග් ක්‍රීඩා උළෙල ලබන දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු හා ‘ෆොකාරා’ යන නගරවල දී පැවැත්වේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වයට රුපියල් මිලියන 344ක් පමණ වැය වන බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. ඒ සඳහා මේ වන විට රුපියල් මිලියන 144 ක අඩුවක් පවතින බවත් ඉන් මිලියන 100ක මුදලක් ජාතික ඔලිම්පික් කමිටුවෙන් අපේක්‍ෂා කරන බවත් ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
කෙසේ වුවත් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පවසන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය ඔලිම්පික් කමිටුවෙන් රුපියල් මිලියන 100ක් ඉල්ලා සිටීම සාවද්‍ය ප්‍රකාශයක් බවයි.

මීට පෙර ඔවුන්ගෙන් ඒ සඳහා කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ බවත් අනතුරුව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගීත්වයේ වියදම් සඳහා රුපියල් මිලියන 144 ක අමතර මුදලක් ලබා දෙන ලෙස අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කළ බවත් කියැවේ.
 
එහිදී අමාත්‍ය මණ්ඩලය ඔලිම්පික් කමිටුවේ යෝජනාවන්ට අනුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වැය කිරීම් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් වෙන්කර තිබෙන අතර එය ඒ සඳහා ලබාගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය මේ වන විට සිය නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවත් ධම්මික මුතුගල මහතා පවසයි.

ඒ අනුව මහා භාණ්ඩාගාරය වෙතින් එය දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ලබාගන්නා ලෙස මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් ලබාදී තිබේ. එකී කාරණා තුළින් අදාළ රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදුන් ප්‍රතිපාදනයක් විනා ජාතික ඔලිම්පික් කමිටුවට ලබාදුන් ප්‍රතිපාදනයක් නොවන බවත් නිවේදනයක් මගින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය මේ වනවිට ජාතික ක්‍රීඩා සංගම් වෙත උපදෙස් දී ඇත්තේ විදේශ තරග සංචාර සඳහා සිය අමාත්‍යංශය ලබාදෙන ප්‍රතිපාදන මේ වසරට අවසන්ව තිබෙන බැවින් ඒ සඳහා ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලීම් කරන ලෙසයි.

ඡායාරූපය -ගයාන් අමරසේකර


අදහස් (0)

ජාතික ඔලිම්පික් කමිටුවෙන් අමාත්‍යංශය මිලියන 100 ක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.