Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඡන්ද බලය ඉල්ලා ක්‍රිඩා සමාජ දිස්ත්‍රික් සංගම්වලින් විරෝධතා

ඡන්ද බලය ඉල්ලා ක්‍රිඩා සමාජ දිස්ත්‍රික් සංගම්වලින් විරෝධතා

නාමල් පතිරගේ - 2021 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයේ පැවැත්වීමට තීරණය කර තිබෙන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයට ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් නිර්දේශ කරගැනීම සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි වාර්තා වේ. ඒ නිලවරණයේදී ඡන්ද බලය ඉල්ලා ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් පාර්ශ්ව ගණනාවක්ම විරෝධතා හා අභියාචනා නිලවරණ කමිටුව වෙත ඉදිරිපත් කර සිටීම බව ද වාර්තා වේ.

ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය ලබන මැයි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුය. වසර 2018 පැවැති නිලවරණයට දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ 42ක් සහභාගි වී තිබේ.

මෙවර නිලවරණය සඳහා එය ගණනින් 50කට වැඩිවී ඇතැයි ද වාර්තා වේ. නිලවරණ කමිටුව නිර්දේශ කර ගැනීමේ පළමු ක්‍රීඩා සමාජ නියෝජිතයන්ගේ හමුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී නවක ක්‍රීඩා සමාජ ගණනාවක්ම නිලවරණයේදී ඡන්ද බලය ඉල්ලා අයැදුම් කර තිබේ.

ඡන්ද බලය අයැදුම් කර තිබෙන අලුත් ක්‍රීඩා සමාජ පිළිගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි සඳහන් වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ නිලවරණ කමිටුවකට අලුතින් ක්‍රීඩා සමාජ පිළිගැනීමට හිමිකමක් තිබේදැයි ඇතැම් පාර්ශ්ව ප්‍රශ්න කර සිටීමය.

එම අවස්ථාව හිමිව තිබෙන්නේ දේශීය පාපැදි ක්‍රීඩා පරිපාලනය මෙහෙයවන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට පමණක් බවත් එහිදී අවධාරණය වී තිබේ. ඒ අතර නවක පාපැදි ක්‍රීඩා සමාජයක් ලියාපදිංචියෙන් පසුව වසරක කාලයක් නිරීක්ෂණ මට්ටමෙන් පාපැදි සම්මේලනයේ කල් ගෙවිය යුතුය. එහි අදහස එකී කාලය තුළ නිලවරණයකදී ඔවුන්ට ඡන්ද බලය හිමි නොවේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මේ වනවිට ලියාපදිංචි දිස්ත්‍රික් සංගම් ගණන අටකි. එහිදී පාර්ශ්ව දෙකක් බැගින් ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් පාපැදි සංගම් කීපයක්ද විය.

ඒ අතරින් ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ පිළිගැනීම නිලවරණ කමිටුව ලබාදී ඇත්තේ නලින් අධිකාරි ආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ශ්වයකටය. කළුතර දිස්ත්‍රික් සංගමයේ ක්‍රියාත්මක වූ දෙපාර්ශ්වය අතරින් සුදේශ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ශ්වයට මෙවර නිලවරණයේදී ඡන්ද බලය හිමිවී තිබේ.

කෙසේ වුවත් පාර්ශ්ව දෙකක් ලෙස ක්‍රියාත්මක වූ කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ ගැටලුව මේ වනවිට අවසන්ව ඇතැයි ද වාර්තා වේ. එහි සභාපති ධුරය මේ වනවිට දරන්නේ පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වූ විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ මහතාය.

වාර්තා වන පරිදි නිලවරණ කමිටුව ලබාදී තිබෙන උපදෙස් අනුව පාපැදි පරිපාලනය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ තහනමට ලක්වූ නිලධාරීන් ඇතුළත්ව සිටින ක්‍රීඩා සමාජ වේ නම් ඔවුන් සිය නිලධාරී මණ්ඩලවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද මේ වනවිට නිලවරණ කමිටුව ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් වෙත උපදෙස් ලබාදී ඇතැයි ද වාර්තා වේ.

පාපැදි සම්මේලනයේ පසුගිය නිල කාලයේ තනතුරු දැරූ හිටපු සභාපති එන්. කරුණාරත්න, ලේකම් ධුරයේ කටයුතු කළ   නිහාල් කුලසේකර හා භාණ්ඩාගාරික ධුරයේ කටයුතු කළ සේනක රණසිංහ යන මහත්වරුන්ට ගිණුම් වාර්තා විගණනය කර ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමේ චෝදනා මත මේ වනවිට පාපැදි පරිපාලනයේ නිරතවීම ක්‍රීඩා අමාත්‍යාංශයේ නියමයකින් තහනම් වී තිබේ.

නිලවරණ කමිටුව එළඹෙන පාපැදි නිලවරණයට සහභාගි කර ගන්නා ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් ලේඛනය මේ වනවිට සූදානම් කරමින් සිටින අතර එය ලබන සිකුරාදා (05) නිමා කරනු ඇතැයි ද වාර්තා වේ.
එහිදී නාමයෝජනා කැඳවීම, නිලවරණය කැඳවන දිනය, විරෝධතා බාර ගැනීමේ දින ප්‍රකාශයට පත් කිරීම හා ඒවා විභාග කිරීමේ දින ඉදිරියේදී නිලවරණ කමිටුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


අදහස් (0)

ඡන්ද බලය ඉල්ලා ක්‍රිඩා සමාජ දිස්ත්‍රික් සංගම්වලින් විරෝධතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.