Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චාමික සඳුන් කුමාර පළමු අදියර ජයගනී

චාමික සඳුන් කුමාර පළමු අදියර ජයගනී

නාමල් පතිරගේ - 2019 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහ වැසි මැද දෙහිවල ගුවන් පාලම අසළින් ආරම්භ වූ සිව්වැනි ටෙලිකොම් පාපැදි සවාරියේ පළමු අදියර තියුණු තරගයකින් පසුව ජයගැනීමට චාමික සඳුන් කුමාර අද (24) සමත්විය.

පැයට කිලෝ මීටර 40 ක වැඩි වේගයක් රඳවා ගනිමින් එක පොකුරේ පස් දෙනෙකු සමග තරගය නිමා කළ චාමිකට කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා කිලෝමීටර 159.4 ක ධාවන මාර්ගයක් ගෙවීමට ගතවූ කාලය පැය 3 තත්පර 52.13 කි.

පළමු අදියර ජයගත් චාමික සඳුන් කුමාර වසර 2017 මෙම පාපැදි සවාරියේ සමස්ත ජයග්‍රාහකයායි.
 
දැඩි වර්ෂාව මැද දෙහිවල ගුවන් හමුදා පාලම අසළින් තරගකරුවන් 140 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද උදෑසන තරගය ආරම්භ විය. ඒ අනුව එතැන් සිට රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත හරහා තරගය නිමාවූ ඇඹිලිපිටිය නගර මධ්‍යයට පැමිණි එය අවසන් කළ තරගකරුවන් ගණන 120 කට ආසන්න විය. අද දිනයේ කොළඹ ඇතුළු පළාත් රැසකට දැඩි වර්ෂාවක් ඇදහැලෙමින් පැවතියත් පළමු අදියර තරගයට එය බාධාවක් නොවූ බව ටෙලිකොම් පාපැදි සවාරියේ ප්‍රධාන නියෝජ්‍ය විනිසුරු සුමිත් බාලසූරිය මහතා පැවසීය.

රත්නපුරයට තරගය ළඟාවෙද්දී තරගකරුවෝ පොකුරු කීපයකට බෙදී පාපැදි පැද යමින් සිටියහ. කහවත්ත පසුකිරීමෙන් පසුව ජයග්‍රාහී චාමික සඳුන් කුමාර ඇතුළු තරගකරුවන් පස් දෙනෙකු එක පොකුරට තරගය නිමාවට ළඟාවෙද්දී චාමික ජයග්‍රාහකයා විය. අද පළමු අදියරේ අවසන් ප්‍රතිඵලයට අනුව වේගවත්ම (ස්ප්‍රින්ට්) ක්‍රීඩකයා ලෙසත් චාමික වැඩිම ලකුණු ලබා තිබුණි. රත්නපුරය හරහා කඳු සහිත ධාවන මාර්ගයක අද පළමු අදියර තරගය පැවැත්වීමේදී කඳු තරණයේ හොඳම ක්‍රීඩකයා බවට ඒ වනවිට පත්වසිටියේ විරාන් රමේස්ය.
මෙවර ටෙලිකොම් පාපැදි සවාරිය අදියර පහක් ඔස්සේ දින පහක් පුරා පැවැත්වේ. තරගයේ මුළු දුර කිලෝමීටර 814 කි.  දිවයිනේ පළාත් නවයම ආවරණය වන අන්දමින් සකස් කර තිබෙන මාර්ගයක පැවැත්වෙන තරගය ලබන සෙනසුරාදා (28) දඹුල්ල, මිරිස්ගෝනියාව හන්දියෙන් නිමාවට පත්කෙරේ.

ටෙලිකොම් පාපැදි සවාරියේ රේසින් (පිරිමි) තරගයේ ශූරයාට රුපියල් මිලියනයක් පිරිනැමේ. ඒ හැරෙන්නට කාන්තා (රේසින්) හා කනිෂ්ඨ (විවෘත) තරග ඉසව් දෙකේ ද ඇතුළුව එම සියලු තරග ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ප්‍රදානය කෙරෙන මුළු ත්‍යාග මුදල රුපියල් මිලියන 4.7 ක අගයක් ගනී. පසුගිය වසරේ මෙම පාපැදි සවාරිය ජයගත් ගුවන් හමුදා ක්‍රීඩක ගිහාන් පුෂ්පකුමාර ඇතුළු දිවයිනේ නමගිය පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී තරගකරුවන් සියලු දෙනා මෙවර පාපැදි සවාරියටත් ඉදරිපත්ව සිටියි.

කෙසේ වුවත් වසර 2016 සවාරිය ජයගත් නාවික හමුදා ක්‍රීඩක දර්ශන ප්‍රසාද් මෙවර තරගයට සහභාගී නොවන බව වාර්තාවේ. මෙවර ටෙලිකොම් පාපැදි සවාරියෙන් ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලයෙ තාක්‍ෂණික කමිටුවේ ලේකම් උපුල් චන්දන ප්‍රියනාත් මහතාය.

තරගයේ දෙවැනි අදියර ඇඹිලිපිටිය සිට හම්බන්තොට හරහා බණ්ඩාරවෙල දක්වා පැවැත්වේ. එහි දුර කිලෝමීටර 156.2 කි. තරගය අද (25) පෙරවරු 8.30 ට ඇඹිලිපිටිය බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය අසළින් ආරම්භ වේ.

ටෙලිකොම් පාපැදි සවාරියේ පළමු අදියර තරගයේ ජයග්‍රාහකයෝ
(කොළඹ සිට රත්නපුරය හරහා ඇඹිලිපිටිය දක්වා - කිලෝමීටර 159.4)
1. චාමික සඳුන් කුමාර (නාවික හමුදාව - පැය 3 විනාඩි 52 තත්පර 13),
2. සජිත් නයනජිත් (වරාය - 3.52.13),
3. චමෝද් සිල්වා (වරාය - 3.52.13),
4. පැතුම් කුමාර (දෙහිවල - ගල්කිස්ස - 3.52.13),
5. නිහාල් සිල්වා (නාවික හමුදාව - 3.52.13),
6. චතුර මධුශංඛ (දෙහිවල - ගල්කිස්ස - 3.52.13),
7. සඳරුවන් පින්තු (යුද හමුදාව - 3.52.47)
8. කසුන් නිමේෂ් (වරාය - 3.52.47),
9. අවිෂ්ක උමයන්ග (පොලිස් - 3.52.47),
10 තරිඳු සඳරුවන් (යුද හමුදාව - 3.52.47)

 


අදහස් (0)

චාමික සඳුන් කුමාර පළමු අදියර ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.